2022 වසරේ අරගලය පැවති සමයේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් පොලීසිය ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) තීන්දු කළේය .
රැඳවුම් භාරයේ සිටි වසන්ත මුදලිගේ වෙනුවෙන් නීතිඥ මංජුල බාලසූරිය මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අර්ජුන ඔබේසේකර, ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා මෙම තීන්දුව ලබා දෙන ලදි .
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ විරෝධතාවක් අතරතුරදී අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමට තරම් සාධාරණ සැකයක් මතුවිය හැකි කරුණු වගඋත්තරකරුවන් විසින් ඉදිරිපත් කර නොමැති බවයි.