අද ලෝක ළමා හා වැඩිහිටි දිනයයි

ලෝක ළමා හා වැඩිහිටි දිනය අදට (ඔක්තෝබර් 01) යෙදී තිබේ.

“සියල්ලට වඩා දරුවන් වටී” යන්න මෙවර ලෝක ළමා දිනයේ තේමාවයි.
එමෙන්ම ලෝක වැඩිහිටි දිනයේ තේමාව වන්නේ “වෙනස් වන ලෝකයක වැඩිහිටි පුද්ගලයින්ගේ ඔරොත්තු දීමේ හැකියාව” යන්නයි.

ලෝක ළමා දිනය නිමිත්තෙන් සංවිධානය කර ඇති ජාතික උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

ළමුන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් රට තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කර ඇති බව ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය ගීතා කුමාරසිංහ සඳහන් කළාය.

මේ අතර, දරුවන්ට නිදහසේ සහ සුරක්ෂිතව ජීවත් වීමට අවශ්‍ය පරිසරය සකස් කර දීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

එහි සභාපති උදයකුමාර අමරසිංහ සඳහන් කළේ, දරුවන් හිංසනයට සහ කෘරත්වයට ලක්වීම පාලනය කිරීම සඳහා නව නීති හදුන්වාදීමට කටයුතු කර ඇති බවය.

මේ අතර, ලෝක ළමා දිනය නිමිත්තෙන් අද දිනය තුළ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් සියලු උද්‍යාන නොමිලේ නැරඹීමට දරුවන්ට අවස්ථාව ලබා දී ඇති අතර, දෙහිවල සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාව හිමි වේ.

වයස අවුරුදු 12ට අඩු දරුවන් සඳහා මෙම අවස්ථාව හිමි වන අතර, දෙහිවල සත්වෝද්‍යානය තුළ ළමා දින සැමරුම් උත්සවයක් ද සංවිධාන කර ඇති බව වාර්තා වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *