කෝටියක අල්ලසක් ගන්න ගිය හිටපු මන්ත්‍රී

බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ සලෝචන ගමගේ සහ තවත් අයෙක් ව්‍යාපාරිකයෙක්ගෙන් රුපියල් කෝටියකට ආසන්න අල්ලසක් ගැනීමට යාමේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකය විසින් ඊයේ(27) අත්අඩංගුවට ගත් බව වාර්තා වනවා.


කොළඹ කුරුදුවත්ත ප්‍රදේශයේ ටොරිංටන් මාවතේ තිබූ පුද්ගලික ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරියට පවරා දී එම ඉඩමට අදාළ කෝටි දහයක පමණ මුදලක් නාගරික සංවර්ධන අධිකාරියෙන් ලබාගන්නට අදාළ ඉඩම අයිති පාර්ශවයට මේ දෙදෙනා විසින් උපකාර කොට ඇති අතර ඊට අල්ලසක් ලෙස මුදලක් තමන්ට අවශ්‍ය බව පවසා තිබෙනවා.


ඒ අනුව චමින්ද තුෂාර වර්ණසූරිය නැමැති අයගේ නැන්දනියට අයත් ටොරින්ටන් ඇවනිව් ප්‍රදේශයේ පිහිටි ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමෙන් අනතුරුව එම ඉඩමට වන්දි ගෙවීම සඳහා අවශ්‍ය කටයුතු කරදීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 90 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගන්නා අවස්ථාවේදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව වාර්තා වනවා.

ඊයේ (27) පස්වරු තුනට පමණ පිටකෝට්ටේ ප්‍රදේශයේ ඇති ‘ගැමි ගෙදර’ නම් කඩය ඉදිරිපිටදී සලෝචන ගමගේ යන හිටපු මන්ත්‍රීවරයාත්, දුෂාන්ත දිනේෂ් රත්නායක යන ව්‍යාපාරිකයාත් අදාළ අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද දිනයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

සලෝචන ගමගේ මීට පෙර බීමත්ව රිය පැදවීමේ චෝදනාවටද අත්අඩංගුවට ලක්වූ අතර ඔහු මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධනගේ පක්ෂය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරනු ලැබූ අයෙකි.හෙතෙම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ගේ සොහොයුරෙකු බවද වාර්තා වනවා.