වීසා වංචාව වැනි සිදුවීම් ගැන බලධාරීන් නිහඬ ඇයි

2015 සිට 2020 දක්වා කාලය තුළ ජනාධිපති මාධ්‍ය අංශය සඳහා මිලදීගෙන ඇති භාණ්ඩ අස්ථානගතවීමක් සම්බන්ධයෙන් එවකට ජනාධිපති උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ නීතිඥ ශිරාල් ලක්තිලක මහතා අද (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා.

මෙම කැඳවීම සිදු කර ඇත්තේ, ඔහුගෙන් එම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

මේ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි ලක්තිලක මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ, “භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධ වගකීම් දරන්නේ රාජ්‍ය නිලධාරීන් වන අතර, ජනාධිපති උපදේශකයෙකු ලෙස කටයුතු කළ මා වෙත එම වගකීම් පවරා තිබුණේ නැහැ.” යනුවෙනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, “කෙසේ වෙතත්, පුරවැසියෙකු ලෙස මෙවැනි විමර්ශන කටයුත්තකට කැඳවීමක් කළහොත්, නීතිය මෑත පාලනයට සහය දීමේ අරමුණින් එම කැඳවීම්වලට සහභාගි වීම මගේ වගකීමක් ලෙසයි මම සලකන්නේ” යැයි පැවසුවා..

එහිදී වත්මන් ආණ්ඩුවේ ක්‍රියාවලිය පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ ඔහු, “මෑත කාලයේදී සිදුවූ දැවැන්ත වංචා සහ මූල්‍ය ආක්‍රමිකතා ක්‍රියාවලියන් පිළිබඳව ආණ්ඩුව උනන්දුවක් නොදක්වන බව මෙම සිදුවීම උදාහරණයක් ලෙස දැක්විය හැකිය. විශේෂයෙන්ම, මෑතදී වාර්තා වූ වීසා වංචාව වැනි සිදුවීම් සම්බන්ධයෙන් බලධාරීන් තවමත් නිහඩතාවයක පසුවන අතර, එවන් දැවැන්ත වංචාසහගත සිදුවීම් නොසලකා හැර, ජනාධිපතිවරුන් තිදෙනෙකුට පෙර සිදුවූ සිදුවීමක් පිළිබඳව පරීක්ෂණවලට අපගේ කාලය සහ මූල්‍ය සම්පත් වැය කිරීම ජනතාවට ප්‍රශ්නීය තත්ත්වයක් බවක් පෙනේ” යැයි සඳහන් කළා.