කථානායකගේ ඉල්ලා අස්වීමේ ලිපියට අනුර කළ දේ

කථානායක අශෝක රංවල ගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිලිගෙන ඇති බව ජනාධිපති ලේකම් වරයා පාර්ලිමේන්තු මහලේකම්ට ලිඛිතව දන්වා තිබෙනවා.

අශෝක රංවලට ආචාර්ය උපාධියක් නොමැති බවට සමාජයේ කතාබහක් ඇතිවී සති කිහිපයකට පසුව ඊයේ දිනයේදී සිය තනතුරින් ඉල්ලා අස්වන බව නිවේදනය කළේය. ඒ අතරම තමන්ගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයාට දැනුම්දී තිබුණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කතානායක, නියෝජ්‍ය කතානායක හෝ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයාට ඉල්ලා අස්වීමට අවශ්‍ය නම් ලිඛිතව එය ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යුතු වේ. එම ඉල්ලා අස්වීම පිළිගැනීම හෝ නොගැනීම පිළිබද අභිමතය ජනාධිපතිවරයා සතුවේය.

ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීම පිළිගන්නේ නම් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත ජනාධිපතිවරයා දැනුම් දිය යුතු වේ.

එසේ කතානායක, නියෝජ්‍ය කතානායක හෝ නියෝජ්‍ය කාරක සභා සභාපති යන තනතුරුවලින් එකක් හෝ පුරප්පාඩුවූ විට පාර්ලිමේන්තුව රැස්වූ පළමු දිනයේදී එම තනතුරු සදහා මන්ත්‍රීවරයෙක් තෝරා පත් කරගත යුතු වේ.

ඒ අනුව ලබන 17 වැනිදා පාර්ලිමේන්තුව රැස්වූ විට පාර්ලිමේන්තුවේ පළමු කාර්ය ලෙස කතානායකවරයෙක් පත් කරගැනීමට සිදුවේ.