පාතාල බබාගේ තාත්තාගේ ඝාතකයන් යතුරුපැදියට කර ඇති දේ

කොස්ගොඩ, සුදුවැලිපොත ප්‍රදේශයේ පෞද්ගලික කුරුඳු ඉඩමක තිබී ගිනිතබා විනාශ කරන ලද යතුරුපැදියක් සොයාගෙන තිබෙනවා.

පොලීසිය සැක කරන්නේ මෙම යතුරුපැදිය පසුගියදා අහුන්ගල්ලේ වෙඩිතැබීම සඳහා යොදාගත් යතුරුපැදිය බවටයි.

අදාළ ඉඩමේ හිමිකරු අද (10) පෙරවරුවේ කුරුඳු කැපීමට ගිය අවස්ථාවේ පිළිස්සුණු යතුරුපැදිය දැක කොස්ගොඩ පොලීසියට දැනුම්දී තිබෙනවා.

කොස්ගොඩ පොලීසිය සහ ඇල්පිටිය කොට්ඨාස අපාරාධ අංශයේ නිලධාරින් එක්ව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව වාර්තා වනවා.

පසුගිය බ්‍රහස්පතින්දා (08) අහුංගල්ලේ දී සිදුකළ වෙඩිතැබීමෙන් 54 හැවිරිදි කුරුඳු කර්මාන්තයේ යෙදුණු පුද්ගලයෙක් මියගියා.

අහුන්ගල්ලේ, ලෝකන්වත්ත ප්‍රදේශයේ නිවසකට එදින රාත්‍රී 7.40ට පමණ ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.

එහිදී ඝාතනයට ලක්වුණේ කීර්තිසේන ආබෲ නමැති පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා දකුණේ සිදුකළ ඝාතන සහ අපරාධ කිහිපයක සැකකරුවෙක් ලෙස සැලකෙන ‘බබා’ නමැත්තාගේ පියා බව පොලීසිය පවසනවා.

පොලීසිය සැක පළකරන්නේ දකුණේ පාතාල කල්ලි දෙකක් වන “කොස්ගොඩ සුජී” සහ “රත්ගම විදුර” පාර්ශ්ව අතර පවතින ගැටුමෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බවටයි.

කුරුඳු කම්කරුවකු වන ඔහුට කිසිදූ අපරාධමය චෝදනාවක් නොමැතිවූවත් මේ වනවිට ඩුබායි සැඟව සිටින ඔහුගේ පුත්‍රයා වන නදීෂ් කුමාර නොහොත් “අහුංගල්ලේ බබා” නමැත්තා දකුණේ සිදුවූ ඝාතන කිහිපයකට චෝදනා එල්ල වූවෙක් බව පොලීසිය පවසනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!