නීති විරෝධි ලෙස කොටස් එකලස් කළ ලොරි රථයක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍යවරයෙක් වන විජිත් විජේමුණි සොයියා මහතාව පානදුර වලාන පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් ඊයේ (19) අත්අඩංගුවට ගත්තේය.
විජිත් විජේමුණි සොයිසා මහතාගෙන් පැය 06ක පමණ කාලයක් ඊයේ මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අත්අඩංගුවටගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය හමුවට කැදවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව විජිත් විජේමුණි සොයිසා මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ නීති විරෝධි ලෙස කොටස් එකලස් කර ව්‍යාජ එන්ජින් අංක හා චැසි අංක යෙදූ ලොරි රථයක් භාවිත කිරීම සම්බන්ධයෙන් බව ද එම නිලධාරියා සඳහන් කළේය.

බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට අද දිනයේ විජිත් විජේමුණි සොයිසා මහතා ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඒ සඳහා ඊයේ දිනයේම ඔහුව පානදුර සිට හපුතලේ පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් තිබුණි. විජිත් විජේමුණි සොයිසා ඔහුට අයත් හපුතලේ මුතුවානා වත්තේ නීති විරෝධී ලෙස සකස් කරන ලද ලොරි රථයක් සඟවා ඇති බවට වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ වෙත ලද තොරතුරකට අනුව කළ විමර්ශනයකින් අදාළ ලොරි රථය සොයා ගැනීමට මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් සමත්ව තිබුණේ පසුගිය දෙසැම්බර් 05 වැනිදාය.
වැටලීමට සම්බන්ධව සිටි නිලධාරීන් මුතුවානා වත්තේ භූමිය පරීක්ෂා කිරීමේදි මෙම රථයේ කොටස් එකලස් කළ බවට සාධක නිරීක්ෂණය වී තිබේ. එබැවින් එම රථය පොලිස් භාරයට ගැනීමට කටයුතු කර ඇත. අනතුරුව එම රථය හපුතලේ පොලිස් නිලධාරීන්ගේ භාරයට ගෙන අධිකරණයටද කරුණු වාර්තා කර තිබේ. ඒ අනුව හිටපු අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා විසින් අධිකරණ නියෝගයකට අනුව රථය හපුතලේ පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත. මෙම රථය සඟවා තිබි ඇත්තේ හිටපු අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා හට අයත් අක්කර 95ක පමණ විශාලත්වයකින් යුත් වත්තක් තුළ බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සඳහන් කරයි.
අධිකරණ නියෝග මත මෙම රථය රජයේ රස පරීක්ෂකවරයා විසින් පරීක්ෂා කිරීමේදි නිෂ්පාදිත කර්මාන්තශාලාවෙන් පරිබාහිරව නීති විරෝධී ලෙස මෙහි චැසි අංක එන්ජින් අංක ව්‍යාජ ලෙස වෙනස් කර ඇති බවට තහවුරු වී ඇතැයි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සඳහන් කරයි. බණ්ඩාරවෙල මෝටර් රථ පරීක්ෂකවරයා විසින්ද හිටපු අමාත්‍ය විජිත් විජේමුණි සොයිසාට අයත් මෙම රථය හපුතලේ පොලිස් ස්ථානයේදි පරීක්ෂාවට ලක් කර එහි නිෂ්පාදිත ආකෘතියෙන් පරිබාහිරව එකලස් කර ඇති බවත් එන්ජින් අංක සහ චැසි අංකද ව්‍යාජ ලෙස වෙනස් කර ඇති බවට තහවුරු කරමින් වාර්තාවක් ලබා දී ඇති බවත් මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සඳහන් කරයි.
ඒ අනුව වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මඟින් සිදු කරන ලද දීර්ග විමර්ශනයකින් පසු පසුගිය 14 වෙනිදා හිටපු අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා මහතා මධ්‍යම දූෂණ මර්දන බළකාය හමුවට කැඳවා තිබුණි. නීතිඥවරුන් දෙදෙනකු සමඟ මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය වෙත පැමිණි ඔහු ප්‍රකාශය ලබාදෙමින් සිටිය දී ඇතිවූ යම් අසනීප තත්ත්වයක් මත වෙනත් දිනයක දී නැවත පැමිණෙන බව සඳහන් කර පිටව ගොස් තිබුණි. ඒ අනුව ඊයේ (19) නැවත පැමිණි අවස්ථාවේ දී ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සඳහන් කළේය.