කතරගම මැණික් ගඟට යාබදව ඇති රජයේ රක්ෂිතයට අයත් ඉඩම් කොටසක නීති විරෝධී ලෙස ඉදිකර ඇති කාමර 12ක පමණ වූ ගොඩනැඟිල්ලකට ජී. රාජපක්ෂ නමින් ලැබෙන විදුලි බිල සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බවත් එම ගොඩනැඟිල්ලට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පවසා තිබේ.
රජයේ රක්ෂිත ඉඩමක නීති විරෝධී ලෙස ඉදිකර ඇති මෙම ගොඩනැඟිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන විමර්ශනයට අදාළව ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කර ඇත්තේ පසුගිය 17 වෙනිදාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා පැය දෙකහමාරක පමණ කාලයක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කර තිබේ.
මෙම ඉදිකිරීම සිදුකර ඇත්තේ 2010 වසරට පෙරදීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කර ඇති විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ එම ඉදිකිරීම් හමුදාවේ කණ්ඩායමකගේ ශ්‍රම දායකත්වයෙන් සිදුකර ඇති බවය. ඉදිකිරීම්වලින් පසු එම ගොඩනැඟිල්ල බලා කියාගෙන සිට ඇතැයි පැවසෙන්නේ නාවික හමුදාවේ සාමාජිකයෙකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතෙක් වන යෝෂිත රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිට ඇතැයි පැවසෙන්නේ එම නාවික හමුදා සාමාජිකයාය. ඒ සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් 03 වෙනිදා ප්රශ්නකර තිබුණි. එහිදී ඔහු පවසා තිබුණේ එම ගොඩනැඟිල්ල සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බවය.
යෝෂිත රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීමට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා වූ මේජර් නෙවිල් වන්නිආරච්චි මහතාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කළේය. ඒ ඉකුත් දෙසැම්බර් 27 වැනිදාය. රජයේ රක්ෂිතයක ඉදිකර ඇති මෙම ගොඩනැඟිල්ල සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව සමයේ දී ද විමර්ශනයක් ආරම්භ කරනු ලැබීය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වීමෙන් අනතුරුව එම විමර්ශනය ඇනහිට තිබුණි. එම ගොඩනැඟිල්ලට ලබාගෙන ඇති විදුලියට බිල්පත් ලැබෙන්නේ ජී. රාජපක්ෂ නමැති අයෙකුගේ නමිනි.