සමුපකාර සේවාව මින් ඉදිරියට සැබෑ මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යන බවත් සමුපකාර පරිපාලනය සඳහා දේශපාලනික බලපෑම් නොමැති, දූෂණයෙන් හා වංචාවෙන් තොර කණ්ඩායම් සමුපකාර අධ්යක්ෂ මණ්ඩලවලට පත්වනු ඇති බවත් සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ පැවසී ය.
ඒ මහතා මේ බව පැවසූයේ වවුනියාව දිස්ත්‍රික් සමුපකාර නිලධාරීන් දැනුවත් කිරීම සඳහා එම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසී ය
මහජනයාට සමීපතම සේවා හා පොදු පහසුකම් සැපයීමට රාජ්‍ය යාන්ත්‍රණය තුළ පැවති දියුණු ම සේවාව වුණේ සමුපකාරය- එහෙත් කණගාටුවට කරුණක් වන්නේ විවෘත ආර්ථිකයෙන් පසු මෙරට පාලකයෝ එය අතහැර දමා තිබීමයි- විශේෂයෙන් ම පසුගිය වසර 15 – 20 තුළ මෙම වටිනා රාජ්‍ය සේවා ආයතන පද්ධතිය බිඳවැටී තිබෙනවා- ඒ නිසා රට තුළ ඉතා ඉක්මණින් මෙම බිඳවැටුණු සමුපකාර පද්ධතිය යළි පණ ගැන්වීම අවශ්‍ය වෙනවා. ඒ සඳහා අවශ්‍ය නිසි දේශපාලන නායකත්වය, සංවර්ධන වැඩපිළිවෙල හා පාලන ආදර්ශය ලබා දීමට ජාතික ජන බලවේගය නව රජය දැනටමත් කටයුතු කර තිබෙනවා. ඒ පිළිබඳව විෂයභාර අමාත්‍ය වසන්ත සමරසිංහ සහෝදරයා සහ මම දැනටමත් ජාතික හා පළාත් මට්ටමෙන් කළ යුතු වැඩ පිළිවෙල සාකච්ඡා කර තිබෙනවා.
නව රජයේ ඉදිරි වැඩපිළිවෙල සහ සමුපකාර සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳව දිස්ත්‍රික් හා පළාත් මට්ටමෙන් සමුපකාර කොමසාරිස්වරුන් ඇතුළු නිලධාරීන් දැනුවත් කිරීම මේ වන විට ආරම්භ වී ඇති අතර එහි තවත් පියවරක් ලෙස වවුනියාව දිස්ත්‍රික්කයේ එක් එක් කොට්ඨාසවල පිහිටි සමුපකාර සමිතිවල ඇති ගැටලු පිළිබඳ ව විමසා බැලූ නියෝජ්‍ය අමාත්‍යවරයා දිස්ත්‍රික්කයේ දැනට ලබා ඇති ප්‍රගතිය හා 2025 සිට ඉදිරි වැඩපිළිවෙල සමඟ ක්‍රියාකාරී සැලසුම් සකස් කර ජනවාරි මාසය තුළ ඉදිරිපත් කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.
මෙම සාකච්ඡාවට සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් සුදර්ශන චාමර වීරකෝන් සහ වවුනියාව දිස්ත්‍රික් සහකාර සමුපකාර කොමසාරිස්වරුන් ඇතුළු සමුපකාර නිලධාරීන් හා වවුනියාව දිස්ත්‍රික් හා ප්‍රාදේශීය නිලධාරීන් රැසක් සහභාගී වූහ.