මහින්ද ජයසිංහ අගමැතිනිය බයිපාස් කරනවාද? – මාධ්‍ය ලේකම්ගෙන් උත්තර

අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස හරිනි අමරසූරිය නිකුත් කළ ගැසට් පත්‍ර දෙකක් අහෝසි කර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව කම්කරු අමාත්‍යාංශය නිවේදනය කරයි.

කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් මාධ්‍ය වාර්තාවන්ට ප්‍රතිචාර දක්වමින් මේ බව සදහන් කර තිබේ.

ගුරු කාර්යක්ෂමතා කඩඉම් වෙනුවෙන් පවත්වනු ලබන මොඩියුල් පිළිබඳ පසුගියදා චක්‍රලේඛනයක් නිකුත් කර තිබුණේ, අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියක විසින් බවද මාධ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ. එය විෂය භාර ඇමතිනිය වන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවියගේ කිසිදු අනුදැනුමකින් තොරව නිකුත් කළ බවද එහි දැක්වේ.

එමෙන්ම බස්නාහිර පළාතේ රජයේ පාසල් ගුරුවරුන්ට සිය පාසලේ ළමුන් වෙනුවෙන් මුදල් ගෙවා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් ද චක්‍රලේඛයක් නිකුත් කර තිබුණ බවද එය සිදු කර තිබුණේ පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් බවද නිවේදනයේ දැක්වේ.

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා මෙම ගැටලුවට මැදිහත් වූයේ ඉතා දීර්ඝ කාලයක් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස ගුරු – විදුහල්පතිවරුන්ගේ ගැටලු වෙනුවෙන් නිස්සරණධ්‍යාශයෙන් පෙනී සිටි බැවින් බවද නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.