පාතාල වෙඩික්කරු ජනප්‍රිය රග්බි ක්‍රීඩකයෙක් ?

අද (08) අලුයම පාදුක්ක අංගමුව ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරට ලක්ව මියගිය ගුවන් හමුදාවේ කෝප්‍රල්වරයා ගුවන් හමුදා රගර් කණ්ඩායමේ සාමාජිකයෙක්ද වන බව වාර්තා වනවා.

ඔහු රත්මලාන කඳවුරට අනුයුක්තව සක්‍රීය සේවයේ නිරතව සිටි අයෙකු බව ගුවන්හමුදාව සඳහන් කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ හොරණ, මොරගහහේන, මාලොස්ඇළ හන්දිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කරමින් ඊයේ දහවල් වෙඩිතැබීමක් සිදුකර ඇත්තේ ඔහු බවයි.

වෙඩිතැබීමට සම්බන්ධ පුද්ගලයන් සොයා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කටයුතු කරමින් සිටියදී අංගමුව මංසන්ධියේ තාවකාලික මාර්ග බාධකයක දී සැකකටයුතු යතුරුපැදියකට නවත්වන ලෙසට සංඥා කර තිබුණා.

එහෙත් පැදිකරු එය නොනවත්වා ඉදිරියට ධාවනය කර බෝර 12 උණ්ඩ යෙදිය හැකි ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන්.

පොලිසියද එම පුද්ගලයා දෙසට වෙඩි තබා ඇති අතර පොලිස් වෙඩිපහරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබුණා.

රාජපක්ෂ පතිරගේ දිලන්ත ලක්මාල් රාජපක්ෂ නැමැති 33 හැවිරිදි පුද්ගලයා ගුවන් හමුදා රග්බි කණ්ඩායමේ සාමාජිකයෙක් බව පසුව අනාවරණය වුණා.

හොරණ, මොරගහහේන ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙසට මොහු කටයුතු කර ඇති බවත් ඔහු විදේශගතව සිටින සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හෝමාගම “හඳයා” නමැත්තාගේ වෙඩික්කරුවා බවත් පොලීසිය සඳහන් කරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!