UGC වෙනුවට ස්වාධීන අධ්‍යාපන කොමිෂන් සභාවක් පිහිටුවිය යුතුයි

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) වෙනුවට ස්වාධීන අධ්‍යාපන කොමිෂන් සභාවක් පිහිටුවීම යුගයේ අවශ්‍යතාව බව බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ඊයේ (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ස්වාධීන අධ්‍යාපන කොමිෂන් සභාවක් පිහිටුවීම සඳහා අවශ්‍ය වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත් මෙම කොමිෂන් සභාව පිහිටුවීමෙන් රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල දෙකම එකම ප්‍රමිතියක් යටතේ පවත්වාගෙන යා හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

“සංවෘත ආර්ථිකයක් පවතින විට පෞද්ගලික විශ්වවිද්‍යාලවලට මේ රටේ ඉඩක් නොතිබූනි. 1977 ආර්ථිකය විවෘත කිරීමෙන් පසු නීතිය වෙනස් නොකළත් පෞද්ගලික විශ්වවිද්‍යාල අවශ්‍යතාවක් රටට ඇති වුණා. වරින් වර බලයේ සිටි ආණ්ඩු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට සංශෝධන ගෙනවිත් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අවස්ථාව ලබා දුන්නා. ඒ අනුව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ පෞද්ගලික විශ්වවිද්‍යාල 24ක් ලියාපදිංචි කර ආරම්භ කරලා. මීට අමතරව, බොහෝ අනුබද්ධ විශ්ව විද්‍යාල තිබේ. විදේශ රටවල විශ්වවිද්‍යාලවල ශාඛා සහ අනුබද්ධ ආයතන ඇත. ඒවායේ ගුණාත්මකභාවය නොදනී. ඔවුන්ට නියාමනයක් නැත.”

“නියාමනය සඳහා නීති සම්පාදනය කළ යුතුය. ඒ අනුව උසස් අධ්‍යාපනය සඳහා ඇති පුළුල් අවස්ථා පිළිබඳව සලකා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ලෙස පාර්ලිමේන්තුව සහ එහි සභාපතිවරයා ලෙස මම පාර්ලිමේන්තුවට වාර්තාවක් ලබාදී තිබෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යල්පැන ගිහින්. වර්තමානයට ගැළපෙන ස්වාධීන අධ්‍යාපන කොමිසමක් ඇති කළ යුතු බවට අපි වාර්තා ලබාදී තිබෙනවා. පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ එකම ප්‍රමිතියකට විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට මෙමගින් හැකියාව ලැබෙනවා.”

යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පිළිතුරු දෙමින් කියා සිටියේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *