නේෂන්ස් කුසලානය වෙනුවෙන් ලංකා දැල්පන්දු කණ්ඩායම අද සිංගප්පූරුවට

14 වැනි නේෂන්ස් කුසලාන ආරාධිත ජාත්‍යන්තර දැල්පන්දු තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අද (20 වැනිදා) සිංගප්පූරුව බලා පිටත්ව යෑමට නියමිතය.

මෙම තරගාවලිය අනිද්දා (22 වැනිදා) සිට 28 වැනිදා දක්වා සිංගප්පූරුවේ එරීනා ක්‍රීඩාංගණයේදී කණ්ඩායම් 6ක සහභාගිත්වයෙන් පැවැත්වේ.

කැනඩාව, පැපුවා නිව්ගිනියාව, කුක් අයිලන්ඩ් සහ ශ්‍රී ලංකාව ආරාධිත කණ්ඩායම් වන අතර සත්කාරක රට ලෙස සිංගප්පූරුව සහ සිංගප්පූරු ‘ඒ’ කණ්ඩායම් සහභාගි වේ. ශ්‍රී ලංකාව අනිද්දා 22 කැනඩාව, 23 වැනිදා සිංගප්පූරු ‘ඒ’, 24 වැනිදා කුක් අයිලන්ඩ්, 25 වැනිදා පැපුවා නිව්ගිනියාව සහ 27 වැනිදා සිංගප්පූරුව සමග තරග වැදීමට නියමිතය.

අවසන් මහා තරගය ඔක්තෝබර් 28 වැනිදා පැවැත්වේ. ආසියානු කලාපයේ පැවැත්වෙන ප්‍රධාන ආරාධිත දැල්පන්දු තරගාවලියක් වන සිංගප්පූරු නේෂන් කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව සහභාගි වන්නේ වසර 10කට පසුවය. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස ප්‍රවීණ ක්‍රීඩිකා දුලංගි වන්නිතිලක කටයුතු කරන අතර කණ්ඩායමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු නායක පී. ඩී. ප්‍රසාදි කටයුතු කරයි.

2007, 2008, 2012 සහ 2013 වසරවල ශ්‍රී ලංකාව සිව්වැනි ස්ථාන දිනා ගැනීමට සමත් වීම අදාළ තරගාවලියේ දී ශ්‍රී ලංකා ප්‍රදර්ශනය කළ ඉහළම දක්ෂතාවය වේ.

මෙවර ශ්‍රී ලංකා සංචිතය ලෙස, දුලංගි වන්නිතිලක (නායිකාව), ගයාංජලී අමරවංශ, ගයනි දිසානායක, සේමිණී අල්විස්, රශ්මි පෙරේරා, භාෂිනි ද සිල්වා, ඉමාෂා පෙරේරා, සුසීමා බණ්ඩාර, සචිනි රුද්‍රිගෝ, රුක්ෂලා හපුආරච්චි, හංසිමා දිසානායක සහ චලනි නීෂා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *