Uber සිය රියදුරුවරියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ‘Women Rider Preference’ විශේෂාංගය හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Ride-hailing යෙදුම වන Uber විසින් පසුගියදා ‘Women Rider Preference’ නමින් විශේෂාංගයක් හඳුන්වා දෙන ලදි. මෙමගින් Uber සේවාව තුළ ධාවනයේ යෙදෙන රියදුරුවරියන්ට කාන්තාවන්ගෙන් ලැබෙන ඉල්ලීම් පමණක් පිළිගැනීමට අවස්ථාව හිමි වේ. මෙහි අරමුණ වන්නේ රියදුරුවරියන්ගේ ආරක්ෂාව තහවුරු කරමින්, Uber සමග ධාවනයේ යෙදීම සඳහා කාන්තාවන් වැඩි වැඩියෙන් දිරිගැන්වීමය.

Women Rider Preference වැනි ක්‍රමවේදයක් හඳුන්වා දෙන මෙන් මීට පෙර කාන්තාවන් රැසක් Uber වෙතින් ඉල්ලීම් කර තිබිණි. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී හෝ නුපුරුදු පළාත්වල රිය පදවන විට රියදුරුවරියන්ගේ ආරක්ෂාව සහතික කිරීමේ වැදගත්කම ඔවුන් විසින් පෙන්වා දෙන ලද අතර, එම ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් Uber විසින් මෙම විශේෂාංගය හඳුන්වා දෙන ලදි. 

Uber මෝටර් රථ, ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සේවාවන් සඳහා නව Women Rider Preference විශේෂාංගය අදාළ වේ. මෙය කාන්තාවන්ට වඩාත් සුරක්ෂිත සහ නම්‍යශීලී ආදායම් ඉපැයුම් අවස්ථා උදාකර දීම සඳහා Uber දරන නිරන්තර උත්සාහයේ තවත් පියවරක් ලෙසද හැඳින්විය හැකි වේ. රියදුරුවරියන්ට තමන් කැමති ඕනෑම අවස්ථාවක මෙම විශේෂාංගය On හෝ Off කළ හැක. මෙම විශේෂාංගය හේතුවෙන් ඔවුන්ට වැඩි ගමන් වාර ගණනක යෙදීමටත්, දවසේ වැඩි කාලයක් ධාවනයේ යෙදීමටත්, ඒ ඔස්සේ වැඩි වැඩියෙන් ආදායම් ඉපයීමටත් හැකි වනු නිසැකය. 

නව විශේෂාංගය හඳුන්වා දීම සම්බන්ධයෙන් Uber වෙත සුභ ප්‍රාර්ථනා කරමින්, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා මෙසේ පැවසීය. “මෙය අන්තර්කරණය වූ ඩිජිටල් ප්‍රවාහන ක්ෂේත්‍රයක් නිර්මාණය කිරීම සඳහා තබන ලද ප්‍රශංසනීය ඉදිරි පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්. රියදුරුවරියන්ට තෝරාගැනීමේ සහ තීරණය කිරීමේ නිදහස ලබාදීම මගින් එය, කාන්තාවන් ඇතුළුව සියලුම දෙනාට තාක්ෂණය ඔස්සේ සමාන අවස්ථා උදා කර දීම සම්බන්ධයෙන් අප සතු ජාතික දැක්ම යථාර්ථයක් බවට පත්කිරීමට සෘජුවම දායක වෙනවා. මෙමගින් පිළිබිඹු වන්නේ, සමාජයීය ප්‍රගතිය සම්බන්ධයෙන් ගත් විට නවෝත්පාදනය කෙතරම් බලසම්පන්න මෙවලමක්ද යන්නයි. මෙවැනි අන්තර්කරණය වූ ගමනාගමන විසඳුම් ඔස්සේ Uber අර්ථවත් වෙනසක් වෙනුවෙන් පෙරමුණ ගෙන සිටිනු දැකීම සතුටට කරුණක්.”

Uber Sri Lanka මෙරට ප්‍රධාන කළමනාකාරිනී (ගමනාගමන) කෞශල්‍යා ගුණරත්න මහත්මිය මෙසේ සිය අදහස් පළකළාය. “තම ආරක්ෂාව සම්බන්ධයෙන් කාන්තාවන් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් අප Women Rider Preference විශේෂාංගය හඳුන්වා දීමට පියවර ගත්තා. විශේෂයෙන්ම සන්ධ්‍යා කාලයේදීත් රිය පැදවීමට කැමති, එහෙත් ආරක්ෂාව පිළිබඳ සැකසංකා හේතුවෙන් එසේ කිරීමට මැලි වූ කාන්තාවන් බොහෝ දෙනෙක් එබඳු ඉල්ලීම් අප වෙත ඉදිරිපත් කර තිබුණා. මෙම විශේෂාංගය මගින් ඔවුන්ට වැඩි විශ්වාසයකින් යුතුව රිය පැදවීමට හැකි වන අතරම වැඩි මුදලක් ඉපයා ගැනීමටත් හැකියාව ලැබේවි.”

Women Rider Preference විශේෂාංගය මේ වන විට ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ලතින් ඇමරිකාව සහ නැගෙනහිර යුරෝපය ඇතුළු කලාපවල රටවල් 20 කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වේ. 

Women Rider Preference විශේෂාංගයේ මූලික ලක්ෂණ 

  • කාන්තාවන්ට Uber Driver app ඔස්සේ මෙම විශේෂාංගය භාවිතා කළ හැකි වේ. 
  • රියදුරුවරියන්ට අවශ්‍ය ඕනෑම මොහොතක මෙම විශේෂාංගය On හෝ Off කළ හැක. 
  • රියදුරුවරියන් කාන්තා මගීන් සමග සම්බන්ධ කරවීම සඳහා මෙම විශේෂාංගය හඳුන්වා දී ඇති නමුත්, යම් යම් සාධක හේතුවෙන් එය ඇතැම් විට සියයට සියයක් සාර්ථක නොවීමට ඉඩ ඇත. 

මෙම විශේෂාංගය, ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වඩාත් නම්‍යශීලී ආදායම් මාර්ගයක් විවෘත කර දෙන අතරම තම සේවාවන් සම්බන්ධයෙන් ජනතාව අතර පවතින විශ්වාසය වැඩිදියුණු කිරීමට උපකාරී වනු ඇතැයි Uber විශ්වාස කරයි.