හිටපු ඇමති මනුෂගේ සහෝදරයා වන තිසරට ගාල්ලෙනුත් ඇප

විදේශ රැකියා සදහා පිටත් කරන බව පවසමින් රුපියල් ලක්ෂ පහක මුදලක් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාරගේ සහෝදරයා වන තිසර නානායක්කාර ඇප මත මුදා හැරීමට ගාල්ල මහේස්‍රාත් අධිකරණය නියෝග කළේය.

මෙම මුදල් ලබාදුන් බව කියන පුද්ගලයාගෙන් රුපියල් ලක්ෂ 25 ක මුදලක් ලබාගෙන ඇති නමුත් එම මුදලින් රුපියල් ලක්ෂ 20 ක මුදලක් නැවත ගෙවා ඇතැයි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

මේ සම්බන්ධයෙන් ගාල්ල විශේෂ අපරාධ විමර්ෂන ඒකකය කළ පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති නිසා ඇප ලබාදෙන ලෙස විත්තියේ නීතීඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම නඩුකරය අධිකරණය හමුවේ විභාග වන සාමන්‍ය නඩුවක් සේ සලකා කටයුතු කරන ලෙසද නීඥයින් ඉල්ලා සිටියේය.

මේ සම්බන්ධයෙන් පැමිණිල්ල ගොනු කළ පුද්ගලයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට පොලීසිය දැනුම් දී ඇති නමුත් ඔහු අධිකරණය හමුවේ පෙනී සිට නැති බවද නීතීඥයින් පෙන්වා දුන්නේය. මෙම නඩුව පවත්වාගෙන අමුණක් ඔහුට නොමැති බවත් වෙනත් අරමුණුවලින් මෙම නඩුව පවත්වාගෙන යන බවත් විත්තියේ නීතීඥයින් අධිකරණයට දැනුම් දුන්නේය.

පුද්ගලයින් විදේශ ගත කිරීම සඳහා නීත්‍යානුකූල සමාගමක් පවත්වාගෙන යමින් සැකකරු විසින් උපදේශන සේවා ආයතනයක් නීත්‍යානුකූලව පවත්වා ගෙන ගොස් ඇති බවට මෙි සඳහා ලබා ගත් මුදල් තුන්වැනි පාර්ශවයක් වෙත ලබා දී තිබෙන බව ද වීසා පහසුකම් සකස් කිරීම සඳහා එසේ මුදල් තුන්වැනි පාර්ශවයකට ලබා දී තිබෙන බවද විත්තියේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්හ.

එම තුන්වැනි පාර්ශවය සැකකරුට වංචා කර ඇති බව ද ඒ බව දිවුරුම් ප්‍රකාශයක් මඟින් අපරාධ පරීක්ෂණ දේපාර්තුමේන්තුවට පැමිණිලි කර ඇති බව ද විත්තියේ නීතිඥවරු දැනුම් දුන්හ. එහෙත් එම පැමිණිල්ල සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු විමර්ශනයක් සිදුව නැති බවද විත්තියේ නීතිඥවරු අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු ගොනු කරමින් සඳහන් කළේ ය.

විත්තිය වෙනුවෙන් ජේෂ්ඨ නීතිඥ රජින්ද්‍ර නාරන්ගොඩ, ඩස්නි පියසිරි ඇතුළු නීතිඥයින් කණ්ඩායමක් පෙනී සිටියහ.