CID චෝදනා පදනම් විරහිතයි – තිසර වෙනුවෙන් විත්තියේ නීතිවේදියා අධිකරණයට කියයි

විදේශ රැකියා සදහා පුද්ගලයින් යොමු කරන බව පවසමින් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයාගේ සහෝදරයා වන තිසර නානායක්කාර ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත නිදහස් කළේය.

දැඩි ඇප කොන්දේසි මත ඔහුට අද දිනයේදී ඇප ලබාදුන්නේය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ප්‍රදීප් ගමගේ විත්තිකරුට ඇප ලබා නොදීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත්වල කරුණුවල කිසිදු පදනමක් නොමැති බව අධිකරණයට දැනුම් දුන්නේය.

මේ වන විට පුද්ගලයින් 38 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවසන් නිසා විත්තිකරුට, සාක්ෂිකරුවන්ට හා පැමිණිලිකරුවන්ට බලපෑම් කිරීමේ අවස්ථාවක් නොමැති බවද විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය. මේ නඩුව අධිකරණය හමුවේ විභාග වන අනෙක් නඩු මෙන් සලකා කටයුතු කරන ලෙසද නීතීඥ ප්‍රදීප් ගමගේ අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

විත්තිකරු හිටපු අමාත්‍යවරයෙක්ගේ සහෝදරයෙක් නිසා බලවත් පුද්ගලයෙක් සේ සලකා කටයුතු කළ යුතු බවට පැමිණිල්ල අධිකරණය හමුවේ කරුණු දක්වා තිබූ අතර පුද්ගලයෙක්ගේ බලවත්භාවය හෝ බලවත් නොවන භාවය අනුව සලකා කටයුතු නොකර පරීක්ෂණ සදහා සාධාරණ කාලයක් ලබාදී ඇත්ද යන්න පිළිබද සලකා බලා කටයුතු කරන ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඉල්ලා සිටියේය.

මෙම කරුණ මුදල් විශුද්ධිකරණ පනත යටතට ගෙන ඒම පිළිබද පැමිණිල්ල අධිකරණය හමුවේ පවසා තිබූ අතර විත්තියේ නීතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ එසේ නම් රට වටේම අධිකරණවල විදේශගතවීම් සදහා මුදල් ලබාදීම් පිළිබද වන නඩු කටයුතු මුදල් විශුද්ධිකරණය යටතට ගත යුතු බවය.

විත්තිකරු විසින් මුදල් ලබාගෙන ඇති මුදල්වලින් කෝටි 6ක මුදලක් තුන්වැනි පාර්ශවයකට ලබාදී ඇති බවද, එම මුදල් ලබාදී ඇති පුද්ගලයින්ගේ නම් ගම් සහ මුදල් තැන්පත් කර ඇති ගිණුම් පිළිබද තොරතුරු ලාදී ඇති බවද කීවේය. ඒ පිළිබද පරීක්ෂණ පවත්වන්නේ නැත්තේ මන්දැයි විත්තියේ නීතීඥවරයා විමසා සිටියේය.

නීති විරෝධි මාර්ගවලින් විදේශ ගතවීමට නොහැකි බවත්, ඒ නීතිය නොදැන සිටීම සමාවට කරුණක් නොවන බවත් නීතීඥවරයා පෙන්වා දුන්නේය. පැමිණිලිකරුවන් තමන්ගේ අසරණභාවයට යුරෝපා රටවලට යාමට යොමුව ඇති බවත්, එසේ යුරෝපා රටවලට පැමිණිලිකරුවන් යැව්වේ නම් ඔවුන් සතුටු වන බවත් නීතීඥවරයා අධිකරණයට පැවසුවේය. එසේ වුනා නම් විත්තිකරු යහපත් පුද්ගලයෙක් ලෙස හැදින්වීමට තිබුණ බවද ඔහු දැනුම් දුන්නේය.

විත්තිකරුද, පැමිණිලිකරුවන් විදේශ ගත කිරීම සදහා තවත් අයෙක්ට මුදල් ලබාදී අහුවී ඇති බවද, එසේ තිබියදී ඔහු හොරෙක් සේ සලකා කටයුතු කිරීම අසාධාරණ බවද විත්තියේ නීතීඥයින් අධිකරණයට දැනුම් දුන්නේය.

විත්තිය වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු සලකාබැලූ මහේස්ත්‍රාත්වරිය, මූලික පරීක්ෂණ කටයුතු අවසන් නිසා දැඩි ඇප කොන්දේසි මත විත්තිකරුට ඇප ලබාදීමට නියෝග කළේය.