හිටපු ඇමතිගේ ෆුට් සයිකලය ඉස්සූ සැකකරු රිමාන්ඩ්

හිටපු අමාත්‍යවරයෙකු වන අර්ල් ගුණසේකර මහතාට අයත් කුරුඳුවත්තේ පිහිටි නිවසක තිබූ පාපැදියක් සොරකම් කළ සැකකරුවකු රිමාන්ඩ් භාරයේ තබන ලෙස අධිකරණය ඊයේ (11) නියෝග කළා.

හිටපු අමාත්‍යවරයාට අයත් නිවසේ තිබූ, මවුන්ටන් වර්ගයේ පාපැදියක් සොරකම් කරන ලදැයි කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් දෙමටගොඩ, රාජාබ්දීන් වත්ත ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකුයි මෙලෙස එළඹෙන 18 වැනි දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

අදාළ නිවසේ සේවය කරන සේවකයකු විසින් මෙම සිද්ධියට අදාළව පැමිණිල්ලක් කුරුඳුවත්ත පොලිසිය වෙත ඉදිරිපත් කර තිබුණු අතර, එම නිවසේ හිමිකරු විසින් නිවසේ සේවකයන්ගේ වැඩ කටයුතු පහසුව සඳහා ලබාදී තිබූ පාපැදියක් මෙලෙස සොරකම් කර තිබූ බවයි කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දන්වා සිටියේ.

මේ අතර සැකකරුගේ නිවසේ තිබී සොරකම් කරන ලද පාපැදිය සොයා ගත් බව ද පොලිසිය අධිකරණයට දන්වා සිටියා.