යම් පමණකට ආරක්ෂා වී තිබූ නිදහස් අධ්‍යාපන ක්‍රියාවලියේ කොඳු නාරටිය බිඳ දමා මුදල් උපයන යාන්ත්‍රණයක් බවට පත්කර ගැනීමට සැලසුම් සකස් වී ඇති බව අද (8) පැවති මාධ්‍ය හමුවකදී ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා.
එමෙන්ම මෙය අධ්‍යාපනයට කරනු ලබන ඉතාමත් ප්රතිගාමී මැදිහත්වීමක් ඔවුන් දකින බවත්, ඒ සම්බන්ධයෙන් කරුණු ගණනාවක් ඉදිරිපත් කරන්න ඇති බවත් ඇය සඳහන් කළා.
හඳුන්වාදී තිබෙන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මගින් මේ පවතින තත්ත්වය ආපස්සට රැගෙන යාමට උත්සාහ කිරීමක් බවත් ,පුද්ගලීකරණයේ දිසාවට යොමු කරමින් තිබෙන්නේ විශ්වවිද්‍යාල පද්ධතිය පමණක් නොවන බවත්, මේ ප්‍රතිපත්ති රාමුව තුළ පාසල්වල පවා නිදහස් අධ්‍යාපනයේ මූලධර්මවලට ප්‍රහාර එල්ල කීරීමක් දක්නට ලැබෙන බවත් ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
එහිදී ඇය වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වූවා.
”එයට ප්‍රතිචාර දක්වමින් අධ්‍යාපන රාජ්‍ය ඇමති සුරේන් රාඝවන් ප්‍රශ්න කරන්නේ මේ ප්‍රතිපත්ති ප්රකාශනය ආවේ කොහෙන්ද කියලයි. අධ්‍යාපන අමාත්‍යාංශයත් ඒ ගැන නොදන්නා බව කියනවා. මෙය නිකුත් කර තිබෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ මුද්‍රාවෙන්. මේ සම්බන්ධයෙන් නිල වගකීමක් දරන අධ්‍යාපන කොමිසම හෝ විෂය භාර ඇමති හෝ නොදැනගෙන මේ වාර්තා නිකුත් වන්නේ කාගේ අවශ්‍යතාවලට අනුවදැයි බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා. පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය, වෙනත් වගකිව යුතු ආයතන කිසිවක් නොදැනගෙන අඩුම තරමින් ව්‍යවස්ථා සභාව වත් නොතකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හැසිරෙන බව මෙයින් යළිත් තහවුරු වෙනවා. ඔහුට ඕනෑ කමිටු මගින් ප්‍රතිපත්ති සකස් කර, අදාළ නිල ව්‍යුහය සම්පූර්ණයෙන්ම ඉවත දමා ජනවරමක් නැති මේ ජනාධිපති ක්‍රියා කරනවා. එය අතිශයින්ම භයානක දෙයක්. රනිල් වික්‍රමසිංහ කියන්නේ රටම ප්‍රතික්ෂේප කළ දේශපාලන කඳවුරක නියෝජිතයායි. ඔහුට කිසිම ජනවරමක් නැහැ. ව්‍යවස්ථාවෙන් පැනවුණු සීමිත වගකීමක් පමණයි තිබෙන්නේ. තව මාස කිහිපයකින් එය අවසන් වෙනවා. ඒ අතරතුර රටටත් ජනතාවටත් තීරණාත්මක ලෙස බලපාන තීන්දු තීරණ ගන්න ඔහුට කිසිම අයිතියක් නැහැ. ඔහුට කිසිම අයිතියක් නැති ප්‍රදේශවලට කඩා වැදී කරන මේ ක්‍රියාවලට අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නැති බව අවධාරණය කරනවා”