රාජ්‍ය සේවකයන්ගේ වොරන්ට් එකටත් තට්ටු වන ලකුණු

රාජ්‍ය සේවකයන් සදහා වූ නිදහස් දුම්රිය ගමන් බලපත්‍ර හෙවත් වොරන්ට් ලබාදීම සියයට අසූවකින් අඩු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව හා ප්‍රවාහන අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය සේවා බලපත්‍ර සියයට විස්සක් දුම්රිය කවුන්ටර්වලින් ලබාදීමත්, සියයට අසූවක් මාර්ගගතව වෙන්කිරීමත් සිදුකරන ලෙසට උපදෙස් ලබා දී ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කරන්නේ.

මීට අමතරව රාජ්‍ය සේවකයකු වොරන්ට් මගින් වෙන්කර ගන්නා සෑම ආසනයක් සඳහා ම වෙන්කරගනු ලබන රාජ්‍ය සේවකයාගෙන් ප්‍රවේශපත්‍ර ගාස්තුවෙන් සියයට පහක මුදලක් අය කරගැනීමට ද ප්‍රවාහන අමාත්‍යංශය දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වෙත උපදෙස් දී තිබෙන බවත් ජාතික පුවත්පතක් අද (13) වාර්තා කළා.

මෙය රාජ්‍ය සේවකයන් සඳහා ලබාදී ඇති සහන කප්පාදු කිරීමක් බවත් මීට තම සංගමය දැඩි විරෝධයක් පළකර සිටින බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසන්නේ.

මේ අතර දුම්රිය ආසන මාර්ගගතව වෙන් කිරීමේ දී පවා, බොහෝ මගීන් පිරිසකට අපහසුතාවකට ලක්වීමට සිදුව තිබෙන බව ද රාජ්‍ය සේවකයන්ට නිදහසේ දුම්රිය ස්ථානයකට ගොස් ආසන වෙන්කර ගැනීමේ හැකියාව ද මෙමගින් අඩාල වනු ඇති බව ද ඔහු එම පුවත්පතට වැසිදුරටත් සඳහන් කර තිබෙනවා.