ශම්මි ජපානයේ ක්‍රිකට්වලටත් අත ගහයි

ජපානය තුළ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් එකඟ වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

ඔවුන් නිවේදනය කරන්නේ, ඒ සඳහා වන් අවබෝධතා ගිවිසුමක් දෙපාර්ශවය අතර අත්සන් තැබූ බවයි.

එම එකඟතාවය අනුව මෙරට ක්‍රීඩකයින්, ක්‍රිකට් කණ්ඩායම්, පුහුණුකරුවන් සහ ක්‍රීඩාංගණ කාර්ය මණ්ඩල සාමාජිකයින් ජපානයට යැවීමටත් එරට ක්‍රිකට් ක්‍රීඩකයින්ට මෙරටට පැමිණ වැඩිදුර පුහුණුවීමේ අවස්ථාවත් හිමිවනවා.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙරට කණ්ඩායම් ජපානයේ පැවැත්වෙන T20 තරගාවලි සඳහා යැවීමට නියමිත බවත් ලංකා ප්‍රිමියර් ලීග් තරග සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම් සමග පුහුණුවීමට ජපාන ක්‍රීඩකයින්ට ද අවස්ථාව හිමි කර දෙන බවයි.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ දී පැවති අතර, ඒ සඳහා ශ්‍රී ලංකාවේ ජපානයේ නියෝජ්‍ය තානාපති එම්. කොටරෝ කට්සුකි, ජපාන ක්‍රිකට් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී නඔකි ඇලෙක්ස් මියාජි සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඇතුළු පිරිසක් එකතු වී සිටියා.