කරන්දෙණියේ තරුණිය ඝාතනයේ ප්‍රධාන සැකකරු කොටු වෙයි

ඉකුත් 08 වැනි දා කරන්දෙණිය ප්‍රදේශයෙන් වාර්තා වූ තරුණියක ඉතා අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දිනයේ දී ඇයව ඝාතනය සඳහා රැගෙන ගිය බව කියන ත්‍රීරෝද රථයේ රියදුරාව අත් අඩංගුවට ගෙන ඇති අතර, අනතුරුව මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන මිය ගිය තරුණියගේ වැඩිමහළු සහෝදරියගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනයට ලක් වූයේ කරන්දෙණිය, තල්ගහවත්ත, කනත්තවත්ත ලිපිනයේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණියක වන අතර ඇය මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත අයෙක්.

කෙසේ නමුත් ඇය ඝාතනයට ලක් වූ පසු ඇයගේ පියා පොලිසියට කට උත්තරයක් ලබා දෙමින් පවසා තිබුණේ, “මියගොස් ඇත්තේ මගේ බාල දුවයි. එයා මගේ ලොකු දුවගේ ගෙදර (බෑනාගේ ගෙදර) සිට 2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම් වුණා. බෑනා මියගිය දුව සමග අනියම් සම්බන්ධතාවක් ඇති කරගෙන ඇය රවටා ඈත ප්‍රදේශයකට ගෙන ගොස් මාස 4 ක් හොර රහසේ ජීවත් වෙලා තියනවා. බෑනා මගේ ලොකු දුව සහ දරු දෙදෙනා හැර දමා මියගිය දුව රවටාගෙන ගිය බව අපි කරන්දෙණිය පොලිසියට පැමිණිලි කළත් ඇය ගැන තොරතුරක් සොයාගන්න බැරි වුණා.” යනුවෙන්.