කුලියාපිටිය තරුණයෙකු අතුරුදන් කිරීමේ ප්‍රධාන සැකකරුට ලැබුණු අධිකරණ තීන්දුව

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා.

එහිදී කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා නියෝගය කර ඇත්තේ අදාළ සැකකරු ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසටයි.

එලෙස ඇප මත මුදාහරිනු ලැබුවේ සුජිත් ප්‍රනාන්දු නොහොත් “සිඟිති” නමැති පුද්ගලයායි.

කුලියාපිටිය කබලෑව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි සුසිත ජයවංශ නමැති තරුණයා මීට දින කිහිපයකට පෙර අතුරුදන් වුණා.

ඔහු අවසන් වරට සිය පෙම්වතියගේ පියාගෙන් ලැබුණු දුරකථන ඇමතුමකට අනුව ඇයගේ නිවසට ගොස් තිබු බව හා ,එහිදී ඔහුට පෙම්වතියගේ පියා, පෙදරේරුවන් දෙදෙනෙකු සමග එක් වී පහරදී ඇති බව අනාවරණ වූ බව පොලීසිය පවසනවා.

අදාළ තරුණයා ප්‍රදේශයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසට රැගෙන යා යුතු බව පෙම්වතියගේ පියා පැවසූ බව අත්අඩංගුවට ගත් පෙදරේරුවන් දෙදෙනා පොලීසියට පාපෝච්චාරණය කර තිබෙනවා.

අදාළ සිද්ධියෙන් පසුව ප්‍රධාන සැකකරු සහ ඔහුගේ බිරිඳ, අතුරුදන් තරුණයාගේ පෙම්වතිය වන සිය දියණිය සහ පුතුන් දෙදෙනා මෙන්ම ප්‍රධාන සැකකරුගේ සහෝදරිය හා ඇගේ සැමියාද සිය නිවෙස් අතහැර ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවට තොරතුරු වාර්තා වුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!