ගුරු විදුහල්පතිවරු අදත් දීපව්‍යාප්ත වැඩවර්ජනයක

ගුරු- විදුහල්පති වෘත්තීය සමිති අද (27) දිනය තුළත් ලෙඩ නිවාඩු වාර්තා කරමින් දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

ඊයේ (26) කොළඹ පැවති විරෝධතාවයට පොලීසිය එල්ල කළ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයට විරෝධය පළ කරමින් ගුරු – විදුහල්පති වෘත්තීය සමිති මෙලෙස අද වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බවයි ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ.

අසනීප නිවාඩු වාර්තා කරමින් ඊයේ (26) දිනයෙදීත් ගුරු – විදුහල්පති වෘත්තීය සමිති වැඩවර්ජනයක නිරත වු අතර මේ හේතුවෙන් දිවයිනේ බොහෝ පාසල්වල අධ්‍යයන කටයුතු සිදුකෙරුණේ නැහැ.

පාසල් රැසක ළමුන්ගේ පැමිණීම ද ඉතා අඩු මට්ටමක පැවති අතර ඇතැම් පාසල්වලට පැමිණි සිසුන්ට පාසල්වලට ඇතුළුවීමට නොහැකි වීම හේතුවෙන් හැරී යාමට ද සිදුවුණා.

නමුත් අද (27) සාමාන්‍ය පරිදි රජයේ සියලුම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ සඳහන් කළා.

මේ අතර අද දිනයේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබු අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු නොවැළැක්විය හේතුවක් මත සිදුනොකරන බව විභාග කොමසාරිස්වරයා පවසනවා.

ඒ අනුව දෙවන අදියරේ ඇගයීම් කටයුතු හෙට (28) සිට ආරම්භ කරන බවයි විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!