අඟහරු බලා යන්න සැරසෙන ශ්‍රී ලාංකික තරුණිය

අඟහරු ග්‍රහයාගේ ගවේෂණ කටයුතු සඳහා සිදුකරන පර්යේෂණයකට ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක් තේරී ඇති බව වාර්තා වනවා.

ඊට අදාළ මෙහෙයුම නාසා ආයතනය හූස්ටන්හි පිහිටි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිකර ඇති අඟහරු ග්‍රහයාගේ පාරිසරික ලක්ෂණ සහිත වාසස්ථානයක සිදුකරන බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබෙනවා.

එම මෙහෙයුමේ කාර්ය මණ්ඩලය සඳහා සිව් දෙනෙක් තෝරාගෙන ඇති අතර, ඔවුන් වන්නේ ජේසන් ලී, ස්ටෙෆනි නවර්රෝ, ෂරීෆ් අල් රෝමයිති සහ පියුමි විජේසේකර යන අයයි.

එම මෙහෙයුමේ කාර්ය මණ්ඩලයේ සිටින පියුමි විජේසේකර, කැලිෆෝනියාවේ “NASA Ames” පර්යේෂණ මධ්‍යස්ථානයේ විකිරණ ජෛව භෞතික විද්‍යාගාරයේ පර්යේෂණ විද්‍යාඥවරියක් කටයුතු කරනවා.

නාසා ආයතනයේ “Human Exploration Research Analog” ලෙස නම්කර ඇති මෙහෙයුම් කලාපයට මැයි 10 වනදා ඔවුන් ඇතුළු වීමට නියමිතව තිබෙනවා.

නාසා ආයතනය නිවේදනය කරන්නේ එතැන් සිට දින 45ක කාලයක් ඔවුන් ගගනගාමීන් ලෙස කටයුතු කරන බවයි.

නාසා ආයතනය මගින් සඳ, අඟහරු සහ අනෙකුත් අභ්‍යවකාශ කලාප වෙත ගගනගාමීන් යැවීමට පෙර ඔවුන්ට අවශ්‍ය පෙර පුහුණුව ලබාදීමට ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිකර ඇති මෙම මෙහෙයුම් කලාපය භාවිත කරනවා.

මේ නිසා විද්‍යාඥයින්ට ගගනගාමීන්ගේ කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය දැනුම ලබාගැනීමටද අවස්ථාව ලබෙනවා.