ශ්‍රීලංකන් ගුවන් සේවයට නව ගුවන් සේවක සේවිකාවන් බඳවා ගැනීම ඇරඹේ 

ශ්‍රීලංකන් ගුවන් සේවය මේ වන විට නවක ගුවන් සේවක සේවිකාවන් බඳවා ගැනීම සඳහා මහා පරිමාණ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. මගීන් වැඩි වැඩියෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය භාවිතා කිරීමට පෙළඹීම සහ නව ගමනාන්තයන් ජනප්‍රිය වීම ඇතුළු සාධක හේතුවෙන් ඉදිරියේදී තම සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සැලසුම් කර ඇති අතර, මෙම සැලසුම්වලට සමගාමීව මෙලෙස නව සාමාජික සාමාජිකාවන් බඳවා ගැනීමට සමාගම තීරණය කර ඇත. මේ සඳහා පළ කළ දැන්වීම්වලට ප්‍රතිචාර වශයෙන් දැනටමත් අයදුම්පත් 12,000 කට අධික සංඛ්‍යාවක් ශ්‍රීලංකන් ගුවන් සේවය වෙත ලැබී තිබේ. මෙම අයදුම්කරුවන් අතරින් කෙටිලැයිස්තුගත වූ අයදුම්කරුවන් සඳහා සම්මුඛ පරීක්ෂණ 2025 මැයි 20 සිට 23 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. 

මෙම සම්මුඛ පරීක්ෂණවලදී සෑම අයදුම්කරුවෙකුටම අදියර කිහිපයකින් සමන්විත සමීක්ෂණ ක්‍රියාවලියකට මුහුණ දීමට සිදු වේ. මෙම ක්‍රියාවලිය තුළදී මුලින්ම ඔවුන්ගේ සුදුසුකම් සහ අනෙකුත් ලිපිලේඛන තහවුරු කරගැනීම සිදුකෙරෙන අතර, ඉන් අනතුරුව රූප හා ඉදිරිපත් කිරීම් තක්සේරුවක් සහ විශේෂඥ මණ්ඩලයක් විසින් පවත්වනු ලබන යෝග්‍යතා සම්මුඛ පරීක්ෂණයක්ද සිදුකෙරේ. සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලිය තුළ ඉදිරියට යාමට නම් අයදුම්කරුවන් සෑම අදියරකින්ම සමත් විය යුතුය. එම අදියර සියල්ල සාර්ථක ලෙස සම්පූර්ණ කරන අයදුම්කරුවන්ට කටුනායක පිහිටි ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන කාර්යාලයේදී අවසන් සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වීමට සිදු වන අතර, ඉන් සමත් වන අයදුම්කරුවන්ට ශ්‍රීලංකන් ගුවන් සේවය හා එක් වීමට අවස්ථාව හිමි වනු ඇත. 

“අප සොයන්නේ ශ්‍රී ලාංකිකත්වය හදවතින්ම දරන, අපගේ මගීන්ට ජාත්‍යන්තර තලයේ සේවාවක් පිරිනැමීම සඳහා සැබැවින්ම උනන්දුවක් දක්වන පිරිසක්. අප මෙවැනි පුළුල් හා විනිවිදභාවයෙන් යුත් බඳවාගැනීම් ක්‍රියාවලියක් භාවිතා කරන්නේ ඒ නිසයි. එමගින් අපට සියලුම අයදුම්කරුවන්ට සාධාරණයක් ඉටුකිරීමට හැකි වනවා මෙන්ම, මෙම තනතුරුවලට සැබෑම සුදුස්සන් තෝරා ගැනීමට හැකියාව ලැබෙනවා. ගුවන් සේවකයෙකු හෝ සේවිකාවක වීම තරුණ තරුණියන් බොහෝ දෙනෙකු තුළ ඇති ආශාවක්. එය ආකර්ෂණීය රැකියාවක් වුවත් දීර්ඝ රාජකාරි වේලාවන් සහිත අභියෝගාත්මක වෘත්තියක්. එවැනි වෘත්තියක් තුළ ඉහළට යාමට නම් නිසි කුසලතා සහ ආකල්ප තිබිය යුතුමයි. අයදුම්කරුවන් මේ ආකාරයට විවිධ නිර්ණායක ඔස්සේ පරීක්ෂාවට ලක්කෙරෙන්නේ ඒ නිසයි.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ සමූහ මානව සම්පත් ප්‍රධානී සූසන් ජේකොබ්ස් මහත්මිය පැවසුවාය. 

“ශ්‍රීලංකන් ගුවන් සේවයේ ක්‍රමෝපායික ඉලක්ක ළඟා කරගැනීමට මෙන්ම රටේ ක්‍රමයෙන් වර්ධනය වන සංචාරක කර්මාන්තයට අත්වැලක් වීමට මෙලෙස ගුවන් සේවා කාර්ය මණ්ඩලය සඳහා නව සාමාජික සාමාජිකාවන් බඳවා ගැනීම අතිශයින් වැදගත්. මෙමගින් අපට වඩාත් කාර්යක්ෂම ලෙස සේවාවන් ලබා දීමට ප්‍රමාණවත් තරම් පළපුරුදු කාර්ය මණ්ඩලයක් පවත්වාගෙන යාමට මෙන්ම නව අදහස්, යෝජනා සහ කුසලතා අපගේ කාර්ය මණ්ඩලය තුළට රැගෙන ඒමටත්, අලුත් දේවල් ඉගෙන ගැනීමට ඇති උනන්දුව දැල්වීමටත් හැකියාව ලැබෙනවා. මෙම බඳවාගැනීම් මගින් ශ්‍රීලංකන් ගුවන් සේවයට මෙන්ම සමස්තයක් ලෙස රටේ ආර්ථිකයටද යහපතක් සිදු වන බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු (කැබින් සේවා) රවී සමරසිංහ මහතා පැවසීය. 

ශ්‍රී ලංකාව මේ වන විට දකුණු ආසියාවේ ජනප්‍රියම සංචාරක ගමනාන්තයක් බවට පත් වෙමින් තිබෙන අතර, මෙම වසරේදී සංචාරකයන්ගේ පැමිණීම 30% කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මීට සමගාමීව ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා ඇති ඉල්ලුමද ඉහළ යමින් පවතී. තම සම්මානනීය සේවාව නොවෙනස්ව පවත්වා ගන්නා අතරම  Narrow-body සහ Wide-body වර්ග දෙකටම අයත් ගුවන් යානාවල සේවය කළ යුතු අවම කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් සංඛ්‍යාව සම්බන්ධයෙන් පවතින නියාමන රෙගුලාසිවලට අනුකූලව කටයුතු කිරීමේ අරමුණින් ශ්‍රීලංකන් ගුවන් සේවය මෙලෙස නව ගුවන් සේවක සේවිකාවන් බඳවා ගැනීමට තීරණය කර තිබේ. 

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් සේවක සේවිකාවන් යනු ප්‍රෞඪ ශ්‍රී ලාංකිකත්වයේ හරය මැනැවින් නිරූපණය කරන පිරිසකි. ඔවුහු ශ්‍රී ලාංකිකයන්ට ගුවනේදී සුපුරුදු ශ්‍රී ලාංකික සුහදත්වය පිරිනමන අතරම, මෙරටට ආවේණික වූ ළෙන්ගතු සත්කාරකත්වය මුල්ම වරට අත්විඳීමට විදේශිකයන්ට අවස්ථාව උදා කර දෙති. මූලික සේවාවන්ට අමතරව ගුවනේදී දරුදැරියන්ට ආදරබර රැකවරණයක් සැලසීම, හදිසි අවස්ථාවලදී ඉක්මනින් ප්‍රතිචාර දැක්වීම, ගැටලු විසඳීම, මගීන්ගේ අවශ්‍යතා ඉටුකිරීම සහ ශ්‍රීලංකන් ගුවන් සේවයේ සන්නාම තානාපතිවරුන් ලෙස කටයුතු කිරීම ඇතුළු විවිධාකාර වූ භූමිකාවන් රැසකටද ඔවුහු පණ පොවති. ශ්‍රීලංකන් ගුවන් සේවය තුළ පවතින රැකියා අවස්ථා පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා පිවිසෙන්න: https://careers.srilankan.com/