නඩු ලේඛන හපා කෑ නීතිඥවරියට සිදු වූ දේ

කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණ කාර්යාලයේ තිබූ නඩු ගොනුවක ලේඛනයක් බලහත්කාරයෙන් උදුරාගෙන කටේ දමා සපා කා එය විනාශ කළේ යැයි චෝදනා ලබා සිටින එම ප්‍රදේශයේ නීතිඥවරියකට නඩු විභාගය අවසන් වන තෙක් නීතිඥ වෘත්තියේ නිරතවීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නීතිඥවරියට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනා පත්‍රයක් සලකා බැලීමෙන් අනතුරුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ගාමිණී අමරසේකර සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුවකට අදාළව උසාවි කාර්ය මණ්ඩලය භාරයේ තිබූ නඩු ගොනුවක ලේඛනයක් බලහත්කාරයෙන් උදුරාගෙන එය කටේ දමා සපා කා, එය විනාශ කළේ යැයි චෝදනා කරමින් අදාළ නීතිඥවරියට එරෙහිව චෝදනා ගොනු කර තිබුණා.

එමගින් අදාළ නීතිඥවරිය නීතිඥ ආචාර්ය ධර්ම උල්ලංඝනය කර ඇති බවට අදාළ චෝදනා පත්‍රය මගින් චෝදනා නගා තිබුණා.

මෙම නීතිඥවරියට එල්ල වී තිබෙන චෝදනා ඉතා බරපතළ යැයි පෙන්වා දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල මෙවැනි ක්‍රියා අනුමත කළ නොහැකි බවද සඳහන් කර තිබෙනවා.

ඒ අනුව චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව මෙම නඩු විභාගය අවසන් වන තෙක්, අදාළ නීතිඥවරියට නීතිඥ වෘත්තියේ නිරතවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන බවත් අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළා.

මෙම නීතිඥවරිය වසර 12ක් පමණ නීතිඥ වෘත්තියේ නිරත වී ඇති බව නඩු විභාගයේ දී අගවිනිසුරුවරයා විසින් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කර තිබුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!