අදත් දරන්න බැරි උණුසුමක්

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ හැරුණු විට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මේ අතර සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරෙන බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර, දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (16) දිනයේ දී අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ අනුව වයඹ, උතුරු-මැද, නැගෙනහිර, පළාත් සහ කොළඹ, ගම්පහ, මොනරාගල, මන්නාරම, මුලතිව්, වවුනියාව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

එබැවින් ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!