මියන්මාරයේ රඳවා සිටි තරුණයන් බේරා ගත් බව කී කතාව බොරුවක් – වසන්ත යාපා කියයි

මීට සති තුනකට පමණ පෙර ප්‍රකාශයට පත් කළ පරිදි රාජතාන්ත්‍රික මැදිහත්වීමක් හරහා මියන්මාරයේ පරිගණක අපරාධකරුවන් විසින් රඳවාගෙන සිටින ශ්‍රී ලාංකික තරුණයින් 57 දෙනාගෙන් තරුණයින් 8 දෙනෙකු බේරාගත් බවට රජය විසින් කළ ප්‍රකාශ සාවද්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පවසනවා.

අද (26) ගම්පහ විමුල්ල විද්‍යාකර පිරිවෙන වෙත පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ,

“අපි දන්නා පරිදි රජය විසින් බේරාගත්තා යැයි කියන තරුණයින් 8 දෙනා එරට රිබෙල් හමුදාවේ පොලිසියක දැනට රඳවාගෙන සිටිනවා. පසුගිය කාලයේ ඒ රිබෙල් හමුදාව ලුහුබැඳ චීන කණ්ඩායම් විසින් පහරදී තිබෙනවා. එයින් බේරීමට ඔවුන් තමන්ගේ කඳවුරු අතහැර යනකොට දුර්වල කඳවුරක හිටපු අපේ තරුණයින් 8 දෙනෙකු මියන්මාරයේ රිබෙල් හමුදාවට සම්බන්ධිත පොලිසියක අද රඳවාගෙන තිබෙනවා. ඒ ළමයි තවමත් ලංකාවට ගෙනවිත් නැහැ. එසේ තිබිය දී බොරුවට රජය පෙන්වනවා රාජතාන්ත්‍රික ආකාරයට මේ අය මුදවාගත්තා කියලා. එම නිසා මෙම කරුණු කාරණා අද අප විසින් විමසා බැලුවා. ඒ අනුව මහානායක ස්වාමීන් වහන්සේටත් මෙම කරුණු සම්බන්ධයෙන් සැල කර සිටියා. අප විසින් සිව් නිකායික මහානායක ස්වාමීපාදයණන් වහන්සේලාගේ අත්සනින් යුතු සංදේශයක් රැගෙන මියන්මාරයට යෑමට අපෙක්ෂා කරනවා. එම සංදේශයට මහනාහිමියන්ගේ අත්සන ලබාගැනීමද අද දින සිදු වුණා. අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමිපාදයාණන් වහන්සේද ඊට අත්සන යොදා අපට ශක්තිය සහයෝගය පළ කරා.” යනුවෙන්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ අද(26) සවස අමරපුර මහා නිකායේ මහානායක ස්වාමිපාදයාණන් වහන්සේ සමඟ බුරුම(මියන්මාර) තානාපතිතුමන් හමුවී මෙම සංදේශයේ පිටපතක් බාරදීමට නියමිත බවයි.

තවද එහි ප්‍රධාන පිටපත රැගෙන මියන්මාරයට ගොස් සිතගු සියාඩෝ අනුනායක ස්වාමිපාදයාණන් වහන්සේ වෙතින් මහානායක ස්වාමිපාදයාණන් වහන්සේ හමුවී එරට රාජ්‍ය පාලකයන් සමඟ සාකච්ඡාවක් ආරම්භ කර වහාම මේ තරුණයින් බේරා ගැනීමට අදාල කටයුතු සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරයකු ලෙස තමන් මැදිහත් බව ඒ මහතා කියා සිටියා.

එම කටයුතු සඳහා මියන්මාරය වගේ ම තායිලන්තයනුත් සහාය ලබාගනිමින් සිටින බවත්, මියන්මාරයේ මියාවඩි ප්‍රදේශය භාර තායිලන්තයේ ප්‍රධාන හමුදා නායකයකු සමඟ ද සාකච්ඡාවක් ලබන සතියේ ආරම්භ කිරීමට නියමිත බවත් අදාල තරුණයින් සියලු දෙනා බේරාගැනීමට කළ හැකි සියලු මැදිහත්වීම් කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු කියා සිටියා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!