හම්බන්තොට වැඩ බලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියත් නොදන්වා රට ගිහින්

හම්බන්තොට දිස්ත්‍රික් මහ රොහලේ සේවය කළ වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරිය කිසිදු නීත්‍යානුකූල දැනුම්දීමකින් තොරව පෙරේදා (13) හදිසියේ විදෙස්ගත වීම හේතුවෙන් රෝහලේ වැඩකටයුතුවලට බාධා සිදුව තිබෙන බව වාර්තා වනවා.

මෙම වෛද්‍යවරිය ඉකුත් 12 වැනිදා සිට 16 වැනිදා දක්වා අනියම් නිවාඩු අනුමත කරවාගෙන සිට ඇති අතර ඇය 13 වැනිදා විදෙස්ගත වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඇය විදෙස්ගත වූ බවට පසුව වට්ස්ඇප් පණිවුඩයක් මගින් රෝහල් බලධාරින්ට දන්වා ඇති බවත් ජාතික පුවත්පතක් වාර්තා කළා.

කෙසේ වුවද මෙම වෛද්‍යවරිය විදෙස්ගත වී ඇත්තේ, කිසිදු විදෙස් නිවාඩු අනුමත කරවාගැනීමකින් තොරව බව එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කරන අතර හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍යාගාර 5ක් සහ දැඩි සත්කාර 2ක් ක්‍රියාත්මක වන බවත් දැනට රෝහලේ සේවය කිරීමට සිටින්නේ එක් වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයකු පමණක් බවත් එහි වැඩිදුරටත් දැක්වෙනවා.

හම්බන්තොට මහ රෝහලේ සේවය කළ එක ම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා ඉකුත් වසරේ අගෝස්තු 12 වැනිදා මේ ආකාරයට ම හදිසියේ විදෙස්ගතව තිබූ අතර ඔහු දින කිහිපයක නිවාඩුවක් ලබාගන්නා බව දන්වමින් විදෙස්ගතව තිබූ අතර පසුව වට්ස්ඇප් පණිවුඩයක් මගින් මේ බව රෝහල් බලධාරින්ට දන්වා තිබුණා.

ඔහු විදෙස්ගත වූ පසු රෝහලේ ශල්‍යකර්ම කිරීමේ දී දැඩි අසීරුතාවකට රෝහල් බලධාරින් මුහුණ දුන් අතර ඉන් පසුව රෝහලට වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් පත්කර එවා තිබුණු අතර ඉකුත් දා හදිසියේ විදෙස්ගත වී ඇත්තේ එලෙස පත්ව ආ විශේෂඥ වෛද්‍යවරියක්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!