ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් හමුවේ ඔස්ට්‍රේලියාවපරදී

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පළමු විස්සයි20 තරගයෙන් ඔස්ට්‍රේලියාව පරදවා ලකුණු 7ක ජයක් අත්කර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රීඩිකාවන් සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල කඩුලු 6ක් දැවී ලකුණු 117ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ට ඕවර 20 අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 110ක් පමණයි..

ඔස්ට්‍රේලියානු මුල් කඩුලු 4 ලකුණු 29ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සමත් වූ අතර, 5 වැනි කඩුල්ලට ලකුණු 59ක සබඳතාවක් ගොඩනැඟීමට ලිනෝර් ලාරෝසා සහ ලුසී හැමිල්ටන් සමත් වුණා.

ලුසී ලකුණු 28කට දැවී යෑමෙන් එම සබඳතාව නිමා වූ අතර, ඉනිම නිමා වන විට එලිනෝර් නොදැවී ලකුණු 44ක් රැස් කර තිබුණේ පන්දු 41කදී හතරේ පහර 5ක් සමඟිනි. පන්දු යැවීමේදී දෙව්මි විජේරත්න කඩුලු 2ක් දවා ගත්තා.

සංජනා කාවින්දි හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟ පන්දු 27කින් ලකුණු 28ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ අතර, සුමුදු නිසංසලා ලකුණු 19ක් සහ නායිකා මනුදි නානායක්කාර ලකුණු 16ක් ඉනිමට එක් කළා. පන්දු යැවීමේදී හස්රත් ගිල් සහ එලිනෝර් ලාරෝසා කඩුලු 2 බැගින් දවා ගත්තා.

මේ තරගාවලියේ දෙවැනි තරගය අද (29) පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතරයි.

ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිල – 117/6 (ඕවර 20) සංජනා කාවින්දි 28, සුමුදු නිසංසලා 19, මනුදි නානායක්කාර 16, දෙව්මි විජේරත්න 15 (හස්රත් ගිල් 16/2, එලිනෝර් ලාරෝසා 21/2)

ඔස්ට්‍රේලියා යොවුන් කාන්තා පිල – 110/5 (ඕවර 20) එලිනෝර් ලාරෝසා නොදැවී 44, ලුසී හැමිල්ටන් 28 (දෙව්මි විජේරත්න 22/2)

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!