මදුරු කොයිල් නිසා දිස්ත්‍රික්ක 18ක ‘ගේ කුරුල්ලෝ’ වඳ වෙලා

ඉකුත් දශක හතරක් පුරාවට කරන ලද නිරීක්ෂණවල දී ගේ කුරුල්ලා මෙරට දිස්ත්‍රික්ක 18කින් වඳ වී ගොස් ඇතැයි පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පවසනවා.

ඔහු ඒ බව සඳහන් කළේ, ලෝක චටක දිනය (ගේ කුරුල්ලා සැමරීමේ දිනය) නිමිත්තෙන් ශ්‍රී ලංකා පක්ෂි විද්‍යා සංගමය විසින් සංවිධානය කර තිබූ, කොළඹ විශ්වවිද්‍යාලීය විද්‍යා පීඨයේ පැවැති වැඩසටහනක දී යි.

ලෝක ගේ කුරුළු දිනය ලෙස සෑම වසරකම මාර්තු මස 20 වැනි දා නම් කර තිබෙනවා.

පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ, ගේ කුරුල්ලා ආරක්ෂිත පක්ෂියකු ලෙස නම් කිරීම සඳහා ඉකුත් 2007 වසරේ දී පරිසර අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ බවත්, ඒ අනුව වර්තමානයේ දී ගේ කුරුල්ලා ආරක්ෂිත පක්ෂියකු ලෙස සැලකෙන බවයි.

ගේ කුරුල්ලාගේ වඳ වීයාම ආරම්භ වූයේ මැලේරියා මර්දනය සඳහා මැලතියොන් නමැති රසායනික ද්‍රව්‍ය ඉසීමේ කටයුතු ආරම්භ වීමත් සමග බවත්, 1990 දශකයේ දී විශාල ලෙස මදුරු දඟර භාවිතය ඉහළ යාමත් සමග ගේ කුරුල්ලා ඌව, දකුණු සහ මධ්‍යම පළාත්වලින් වඳ වී ගිය බවත්, මෙම මදුරු දඟරවල තිබෙන රසායනික පක්ෂීන්ගේ බිත්තර නිපදවීම කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කළ බවත් එහි දී ඔහු සඳහන් කළා.

මේ වනවිට ගේ කුරුල්ලා ඉතා දුලභ තත්ත්වයට පත්ව සිටින පක්ෂියකු බව පවසන ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ,ගේ කුරුල්ලාගේ වඳ වී යාම මුලින්ම ලංකාවෙන් වාර්තා වූ පසුව ඉන්දියාවෙන් ද එලෙස වඳවී යාම සිදු වූ බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!