සේනකට ‘ අපි කවුරුද ‘ වැනි ගීත ගායනය තහනම්

කොළඹ වාණිජ මහාධිකරණය සේනක බටගොඩ මහතාට එරෙහිව ගීත 7ක් ගායනා කිරිම වාරණය කරමින් වාරණ ආඥාවක් අද (2) නිකුත් කරනු ලැබුවා.

“අපි කවුරුද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීනවලට පණක් තියෙනවා, හොඳම දේ සහ සැනසෙන්නම් මා” යන ගීත මහාධිකරණය විසින් වාරණය කරනු ලැබු ගීත අතරට ඇතුළත් වනවා.

එම ගීතවල ඒකාබද්ධ පද රචනය, තනු නිර්මාණය සහ සංගීත සංකලනය සිදු කරන ලද සංගීතඥ ජනත් කුලතිලක මහතා විසින් මෙම නඩුව සේනක බටගොඩ මහතාට එරෙහිව ගොනු කරනු ලැබුවා.

සියලු කරුණු සලකා බලා ගරු වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මැතිතුමා විසින් මෙම වාරණ නියෝගය සේනක බටගොඩ මහතාට එරෙහිව නිකුත් කරනු ලැබුවා.

එසේම පැමිණිලිකරුගේ ලිඛිත අවසරයකින් තොරව එම ගීත වෙනත් පාර්ශ්වයන් වෙත ලබා දීමද මහාධිකරණය විසින් වාරණය කරනු ලැබුවා.

පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ ගීත සම්බන්ධයෙන් පවතින බුද්ධිමය දේපල හිමිකම කිසිදු අයෙකුට උල්ලංඝනය කල නොහැකි හිමිකමක් වන බවත් සේනක බටගොඩ මහතා විසින් පැමිණිලිකරුගේ බුද්ධිමය දේපල හිමිකම උල්ලංඝනය කර ඇති බවයි.

නැවත මෙම නඩුව අප්‍රේල් මස 16වන දින නැවත කැඳවීමට කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!