සෙනෙට් මණ්ඩලයක් ගැන යෝජනාවක්

සෙනෙට් මණ්ඩල ක්‍රමයක් නැවත ස්ථාපිත කිරීම පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි අධිකරණ, බන්ධනාගර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (25) පැවැති මාධ්‍ය හමුවේ දී යි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

එහි දී අමාත්‍යවරයා පැවසුවේ, 35 දෙනකුගෙන් සමන්විත සෙනෙට් මණ්ඩලයක අවශ්‍යතාව යෝජනා කර තිබෙන බවත්, එක් පළාතකට තිදෙනා බැගින් පළාත් නවයට සාමාජිකයන් 27 දෙනකු සහ ජනාධිපතිවරයාගේ බලතල මත අටදෙනකු පත් කිරීමට යෝජනා කර තිබෙන බවයි.

තව ද සෑම ජන වර්ගයක් ම නියෝජනය වන පරිදි සෙනෙට් සභාව පිහිටුවීම සම්බන්ධව යෝජනා කර ඇතැයි ද ඔහු එහි දී වැඩිදුරටත් සඳහන් කළ අතර වර්තමානයේ ව්‍යවස්ථාදායක සභාවක් ස්ථාපිත කරනු ලැබුවේ පාර්ලිමේන්තුවට ඉහළින් අධීක්ෂණය කිරීම සඳහා කිසිදු ආයතනයක් නොමැති නිසා බවද, සෙනෙට් සභාව පවතින කාලයේ දී මෙරට සුළු ජන කොටස්වලට පාලන ක්‍රමය සම්බන්ධව විශ්වාසයක් පැවැති බව ද ඔහු සඳහන් කළා.

1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සෙනෙට් මණ්ඩලය අහෝසි කළ ද, ඉන්දියාව, ඇමෙරිකාව, ජර්මනිය හා ප්‍රංශය ආදී රටවල්වල සෙනෙට් සභාව ක්‍රියාත්මක වන බවත්, පාර්ලිමේන්තුවට ගෙනෙන පනත් සංශෝධනය කිරීමට හා ඒවා අධීක්ෂණය කිරීමට සෙනෙට් සභාවට බලතල තිබෙන බවත් අමාත්‍යවරයා එහි දී පෙනවා දුන්නා.

සෙනෙට් සභා ක්‍රමය මෙරට පැවතියේ නම්, පළාත් සභා ක්‍රමය මෙරට පිහිටුවීමේ අවශ්‍යතාවය පැන නොනගින බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!