ජනපති රනිල්, ජංගම දුරකතනයෙන් ජනපති සටනට?

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා නායකත්වය දරන එක්සත් මහජන පක්ෂයේ දේශපාලන ලේකම් ධුරයට ප්‍රසිද්ධ දේශපාලන විද්‍යා දේශකවරයෙක් පත් කර ඇති බව ජාතික පුවත්පතක් අද වාර්තා කළා.

එම පුවත් වාර්තාව සඳහන් කරන්නේ, ඉකුත් දා පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී මෙම කටයුත්ත කර තිබෙන බවත්, දේශපාලන ලේකම් ධුරයට අමතරව මාධ්‍ය ලේකම් ධුරය ඇතුළු නිලතල ගණනාවක් වෙනස් කර පක්ෂය ප්‍රතිව්‍යුහගත කිරීමට ද එම රැස්වීමේ දී එකඟ වී ඇති බවයි.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන්නේ අලුත් ම ඡන්ද ලකුණක් සහිත පොදු සන්ධානයකින් බවට වාර්තා කරන එම පුවත් වාර්තාව සඳහන් කරන්නේ, ජනාධිපතිවරයාගේ අපේක්ෂාව තමන්ට හිතවත් පක්ෂ සමග සන්ධානගත වී ජාතික අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට තරග කිරීමට බවයි.

එසේ ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන පක්ෂය සම්බන්ධයෙන් අවශ්‍ය නිල කටයුතු සිදුකරන ලෙස ජනාධිපතිවරයා විසින් අමාත්‍ය ටිරාන් අලස් මහතාට හා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත් පවරා තිබෙන බවත් එම පුවත් වාර්තාව වැඩිදුරටත් දක්වා සිටිනවා.

අමාත්‍ය ටිරාන් අලස් මහතා නායකත්වය දරන එක්සත් මහජන පක්ෂය ප්‍රතිව්‍යුහගත කිරීම පසුපස ජනාධිපතිවරයා එම පක්ෂය පොදු සන්ධානය බවට පත් කිරීමේ උත්සාහයක් විය හැකි බවට දේශපාලන විචාරකයන් සැක පළ කරන බව වාර්තා කරන එම පුවත්පත වැඩිදුරටත් දක්වන්නේ, එක්සත් මහජන පක්ෂයේ ඡන්ද ලාංඡනය ජංගම දුරකතනය වන බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!