කුඩු ළඟ තියාගත් පොලිස් රාලහාමිලාගේ වැඩ තහනම්

හෙරොයින්, අයිස්, හෑෂ් හා තූල් මත්ද්‍රව්‍ය සමගින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඇතුළු හයදෙනකු මොරටුව පොලිසිය විසින් පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබෙනවා

මෙලෙස අත්අඩංගුවට පත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ වැඩ තහනමට ලක්කර ඇතැයි පොලිසිය පවසන්නේ.

මොරටුව මූලස්ථාන පොලිසිය මොරටුව රම්‍ය පෙදෙස මංසන්දියේ දී වෑන් රථයක් නවතා පෙරේදා රාත්‍රියේ පරීක්ෂාවට ලක්කර තිබූ අතර, එම වෑන් රථයේ පැමිණි පිරිස සහ එහි රියැදුරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයාගේ චර්යාව හා කල්ක්‍රියාවන් කෙරෙහි සැක සිතූ පොලිසිය වෑන් රථය හා එහි සිටි තිදෙනකු ම පරීක්ෂාවට ලක්කර තිබුණා.

එහි දී රියැදුරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයා සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 20ක පැකට්ටුවක් ද, තවත් පුද්ගලයකු සතුව තිබූ හෑෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 400ක් ද, එහි සිටි කාන්තාව සන්තකයේ තිබී තූල් මිලිග්‍රෑම් 3690ක් ද සොයාගෙන තිබෙනවා.

මොවුන් පසුව පොලිසිය භාරයට ගෙන කරන ලද ප්‍රශ්න කිරීම්වල දී, මොවුන් තවත් පිරිසක් සමග කටුබැද්ද සුරම්‍ය පෙදෙස පිහිටි ලැගුම්හලක මත්පැන් පානය කර සිට ඇති බවත්, පොලිස් කොස්තාපල්වරයා හා තවත් පුද්ගලයකු සැකකාර තරුණිය රැගෙන ඒමට වෑන් රථයෙන් ගොස් පැමිණ සිටිය දී අත්අඩංගුවට පත්ව ඇති බවත් පොලිසිය පවසනවා.

මෙම වෑන් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයා දෙහිඅත්තකණ්ඩිය පොලිසියේ කොස්තාපල්වරයකු වන අතර ඔහු පෙරේදා කොළඹට පැමිණ ඇත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩුවකට අදාළව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට සාම්පල භාරදීම සඳහායි.

මෙම සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීමෙන් පසු මොරටුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් සුරම්‍ය පෙදෙසේ මොවුන් සිටි ලැගුම්හල පරීක්ෂාවට ලක්කර තිබෙන අතර එහි මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගනිමින් මත්පැන් පානය කරමින් සිටි තවත් පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පොලිස් කොස්තාපල්වරයා පොලිස් විශේෂ කාර්යාංශයට අනුයුක්තව අඟුලාන පොලිස් වසමේ රාජකාරී සඳහා යොදවා සිටි නිලධාරියා බව ද අනාවරණය වී ඇති අතර, එම නිලධාරියා සන්තකයේ ද හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දෙකකට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබුණා.

සැකකරුවන් කොම්පඤ්ඤවීදිය, බොරලැස්ගමුව, පානදුර, සිරිපුර ප්‍රදේශවල පදංචිකරුවන් වන අතර මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මොරටුව පොලිසිය සිදු කරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!