ලලිත් කොතලාවලගේ අධිකරණ වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කරන්නැයි නියෝග

ව්‍යාපාරික ලලිත් කොතලාවලගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වූ විශේෂ අධිකරණ වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කරන ලෙසට අධිකරණය, කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට ඊයේ (26) නියෝග කළා.

මීට මාස 5කට ඉහත දී එනම් 2023 ඔක්තෝබර් 21 වැනි දා සිදු වූ ව්‍යාපාරික ලලිත් කොතලාවලගේ මරණය සම්බන්ධයෙන් වූ අධිකරණ වෛද්‍ය වාර්තාව මෙතෙක් අධිකරණය හමුවට ඉදිරිපත් වී නොතිබීම පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසාන් අමරසිංහ මහතා, කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට එලෙස නොතිසි නිකුත් කරනු ලැබුවා.

නාරහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී 2023 ඔක්තෝබර් 21 වැනි දා මියගිය 85 හැවිරිදි ලලිත් කොතලාවල මහතාගේ මරණය, සැකසහිත බවට සඳහන් කරමින්, ඔහුගේ බිරිඳගේ වැඩිමහල් සොහොයුරිය වන ෂෙරීන් විජේරත්න මහත්මිය කරන ලද පැමිණිල්ලක් සලකා බැලූ අවස්ථාවේ දී අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළා.

අභාවප්‍රාප්ත ලලිත් කොතලාවල මහතාගේ මරණය සැකසහිත බවට ඔහුගේ බිරිඳගේ පාර්ශ්වයෙන් බම්බලපිටිය පොලිසිය වෙත කර තිබූ පැමිණිල්ල සලකා බැලීමෙන් අනතුරුව, දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස අධිකරණය විසින් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කර තිබුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!