ගිය වසරේ ආනයනික ඖෂධ 686ක් ම තත්ත්ව පරික්ෂාවට ලක් කර නැහැ

ඉකුත් වසරේ (2023) ආනයනික ඖෂධ වර්ග 731කින් 686ක් ම තත්ත්ව පරීක්ෂාවකින් තොරව භාවිතයට ගෙන තිබෙන බව පාර්ලිමේන්තුවේ පසුගිය දා පැවැති රාජ්‍ය ගිණුම් කාරක සභාවේ දී අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව, ඖෂධ තත්ත්ව පරීක්ෂණ සඳහා ඖෂධ නියාමන අධිකාරියට ප්‍රමාණවත් රසායනාගාර පහසුකම් නොමැති බවත්, ඊට හේතුව ඒ සඳහා අධිකාරිය උනන්දු නොවූ බවත් ජාතික විගණන කාර්යාලය නියෝජනය කරමින් ඉම කමිටුව හමුවට පැමිණි නිලධාරියා සඳහන් කර තිබෙනවා.

ජාතික ඖෂධ නියාමන අධිකාරියට අදාළව, සකස් කළ වාර්තාවක් උපුටා දක්වමින් මේ බව පවසා ඇති එම නිලධාරියා, ඖෂධ ඇගයීම් කමිටු සංයුතියේ පවතින අඩුපාඩු පවා සපුරා ගැනීමට ආයතනය කටයුතුකර නොමැති බව ද සඳහන්කර තිබෙනවා.

මෙම ඇගයීම් කමිටු සාකච්ඡාවලට ප්‍රධාන විධායක නිලධාරියා සහභාගි වී නොමැති යැයි ද ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබුණා.

ඊට අමතරව 2022 වසරේ ආනයනික ඖෂධ වර්ග 999න් 960ක් ම භාවිතයට ගෙන ඇත්තේ තත්ත්ව පරීක්ෂාවකින් නොවන බවද එහි දී හෙළිදරව් වුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!