හිරුණිකාට එරෙහිව පියවර ගන්නැයි කුරුඳුවත්ත පොලිසියට නියෝග

ඉකුත් 2022 වසරේ නොවැම්බර් 14 වැනි දා, පොලිස් ආඥා පනත හා මංමාවත් පනත උල්ලංඝනය කරමින් කුරුඳුවත්ත පොලිස් වසමට අයත් ටොරින්ටන් චතුරශ්‍රය අසල වීදි නාට්‍යයක් රඟ දැක්වූයේ යැයි කියන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 14 දෙනා හා සැකකරුවෙකු සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබෙන තෙක් බලා සිටීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ඔවුන්ට එරෙහිව දණ්ඩනීති සංග්‍රහයේ 103 වගන්තිය යටතේ ඉදිරි පියවර ගන්නා ලෙසටත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් කුරුඳුවත්ත පොලිසියට නියෝග ක‍ර තිබෙනවා.

එම සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන උදෘත නීතිපතිවරයා වෙත ඉදිරිපත් කොට ඇති නමුත්, මේ දක්වා අවශ්‍ය උපදෙස් ලැබී නොමැති බව පෙන්වාදෙමින් කුරුඳුවත්ත පොලිසිය කරුණු දැක් වූ අවස්ථාවේ දී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කර තිබෙනවා.

එම සැකකාරියන් හා සැකකරු කිසිදු ආකාරයකින් පොලිසියේ රාජකාරියට බාධාවක් සිදුකර නොමැති බවත් රටේ කාන්තාවන්ට මුහුණදීමට සිදුවී ඇති ඛේදවාචකය පිළිබඳව පිළිබිඹු කිරීම සඳහා ඉතා සාමකාමී අයුරින් ඔවුන් වීදි නාට්‍යයක් රඟ දක්වමින් සිටිය දී පොලිසිය කඩා පැන අවට සිටි සියලු දෙනා සමගම බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීමෙන් බාධාකර ඇත්තේ පොලිසිය මිස සිය සේවාදායකයන් නොවන්නේ යැයි විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අතුල රණගල මහතා අධිකරණයට පෙන්වා දී තිබෙනවා.

නඩුව ලබන ජුනි මස 10 වැනි දා දක්වා කල් තබා තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!