වැඩිපුර ළමයි හදන්න ‘කොරියාවේ ‘ අධිවේගී දුම්රිය සේවාවක්

පහත වැටී ඇති උපත් අනුපාතය ඉහළ නැංවීමේ ක්‍රමවේදයක් ලෙස රැකියාවෙන් පසු වේලාසනින් නිවාස වෙත යෑමට සේවක සේවිකාවන්ට පහසුව සැලැසීමට අධිවේගී දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට දකුණු කොරියානු රජය සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සෝල් අගනුවර නිවාස සඳහා අධික මිලක් වැය කිරීමට සිදුවීම හේතුවෙන් දුර බැහැර පළාත්වල සිට දිගු ගමනකින් පසු අගනුවර සේවයට පැමිණෙන එරට බොහෝ තරුණ තරුණියන් විවාහ වීමට සහ පවුල් ජීවිතයක් ආරම්භ කිරීමට අසීරු තත්ත්වයක පසුවීම උපත් අනුපාතය පහළ වැටීමට හේතුවක් බව මීට පෙර වාර්තා වී තිබුණා.

මෙවැනි හේතු රැසක් මත මේ වන විට දකුණු කොරියාව ලොව අඩුම උපත් අනුපාතය ඇති රට බවට ද පත් වී තිබෙනවා.

තරුණ තරුණියන්ට ඔවුන්ගේ සහකරුවන් හා සහකාරියන් සමඟ වැඩි වේලාවක් ගත කිරීමට අවශ්‍ය කාලවේලාව සලසා ගැනීම සඳහා වේලාසනින් නැවත නිවාස වෙත යෑම සඳහා අගනුවර සිට මාර්ග 6කට අධිවේගී දුම්රිය යෙදවීමට දකුණු කොරියානු රජය තීරණය කර තිබෙනවා.

දකුණු කොරියානු මුදලින් වොන් ට්‍රිලියන 134ක් වැය කිරීමට අපේක්ෂිත මේ ව්‍යාපෘතියේ සෝල් අගනුවර සුසේයෝ ප්‍රදේශයේ සිට අගනුවරට දකුණින් පිහිටි ඩොංටන් දක්වා මිනිත්තු 19කින් ළඟාවිය හැකි පළමු දුම්රිය මාර්ගය පසුගියදා ජනාධිපති යූන් සුක් යෝල් අතින් විවෘත වුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!