විදේශ රැකියා ලබා දීමේ දී, අවවරප්‍රසාධිත පවුල්වල තරුණයන්ට ප්‍රමුඛතාව

මෙරටට ලැබී ඇති විදේශ රැකියා අවස්ථා තරුණ තරුණියන්ට ලබා දීමේ දී, ඒ සඳහා ග්‍රාමීය මට්ටමේ වෙසෙන අව-වරප්‍රසාධිත තරුණ තරුණියන්ට අවකාශය සලසා දෙන ලෙස තමා අදාළ බලධාරින්ට උපදෙස් ලබා දී ඇති බව, විදේශ රැකියා සහ කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කර මහතා පවසනවා.

අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, අද (22) මාතලේ දී පැවැති ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනේ දී අදහස් දක්වමින්.

ඊට හේතුව ලෙස අමාත්‍යවරයා පැවසුවේ, රටේ දුප්පත්කම නැති කිරීම සඳහා යම් යම් දේ බෙදනවාට වඩා මෙවැනි අවස්ථා උදා කිරීමෙන් රටේ තරුණ පරම්පරාවේ අනාගතය තිරසර ලෙස උසස් වනු ඇති බවයි.

එසේ ම, විදේශ ගත වී අනාගතයේ දී මෙරටට පැමිණෙන තරුණ තරුණියන්ට, දේශීය ව්‍යවසායකයන් ලෙස නැගී සිටීම සඳහා අවශ්‍ය ව්‍යාපාර පරිසරය ජනාධිපතිවරයා විසින් සාදන බව ද අමාත්‍යවරයා එහි දී සඳහන් කළා.

මේ අතර අමාත්‍යවරයා කියා සිටියේ, රට පුරා මෙවැනි වැඩසටහන් පවත්වනවාට විරුද්ධව කයිවාරු ගසන්නේ, රටේ තරුණ තරුණියන්ගේ අනාගතය යහපත් වනවාට අකමැති කුහක පිරිස් බවයි.

එහි දී එවැනි කුහක පිරිස් ඔවුන්ගේ දේශපාලන වේදිකාවල කරන ප්‍රකාශයන් සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙසේ කියා සිටියා.

“කයිවාරුකාරයෝ මාතරට ගිහිං කියනවා, අපි රස්සා බෙද බෙද, විදේශ රැකියා බෙද බෙද තරුණ තරුණියන්ව රටින් යවනවා. ඒ තරුණ තරුණියන්ගේ අනාගතය රටේ තියාගන්නෙ නැතුව කියලා.

අපිටත් තිබුණා ඊශ්‍රායලයෙන් එන රැකියා ටික, කොරියාවෙන් එන රැකියා ටික, ජපානයෙන් එන රැකියා ටික, මේ ආයතනවලින් හම්බෙන රැකුයා ටික, මම දේශපාලනය කරන ගාල්ල දිස්ත්‍රික්කයට බෙදා ගන්න. මේ ස්මාර්ට් බෝර්ඩ් ටික ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල එක පාසල ගානෙ තෝරා ගන්නේ නැතිව, ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු ම පාසල්වලට බෙදන්න.

මට තිබුණා විදේශ සේවා නියුක්ති කාර්‍යංශය දෙන, පොත් පත්, බිලියන ගාණක මුදල් ගාල්ලට විතරක් බෙදන්න.

එහෙම නොකරන නිසා තමයි අර මාතර රැලියෙ දි කිව්වෙ, රට වටේ ගිහිං තරුණයන්ට බෙදනවා කියලා. ඔව් අපි බෙදනවා! රස්සාවල් ටික රට වටේට බෙදනවා. ඊශ්‍රායලයෙන් අලුතෙන් හොයාගෙන ආපු රැකියාවල් ටික, මාතලෙන් පටන්ගෙන රට වටේ ම තරුණ තරුණියන්ට බෙදනවා.

මේ වැඩසටහන අවසන් වන විට බිලියන පහක හයක ප්‍රතිලාභ විගමනික ශ්‍රමිකයන්ගේ පවුල්වලට දෙනවා.

අපි කුහක දේශපාලන කයිවාරුකාරයන්ට ඇහුන්කන් දෙන්නෙ නෑ. හැබැයි අපේ දරුවන්ට, තරුණයන්ට ලැබෙන ප්‍රතිලාභ දැක්කම, මේ රට ගොඩනැගෙනවා දැක්කම, මේ තරුණ තරුණියෝ රට ගිහිං සල්ලි හොයාගෙන එන ඇවිත් ව්‍යවසායකයො වෙනවට, ඒ සඳහා අවශ්‍ය පරිසරය ජනාධිපතිතුමා හදලා දෙනවට මේ කුහකයෝ කැමති නෑ!

හිඟන්නො කැමති නෑ තුවාල හොඳ වෙනවට, හිඟන්නො කැමතියි හැමදාම තුවාල තියාගන්න. හිඟන්නො කැමතියි හැමදා ම දුප්පත්කම තියනවට.”

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!