ගැහැනු ළමුන්, වැඩිහිටියන් කරන වයස ගැන ගීතාගේ අවධානය

ගැහැනු ළමුන් විවාහ වීමේ වයස් සීමාව සහ කැමැත්තෙන් ලිංගික ඇසුරක යෙදීමේ හැකියාව ඇති වයස් සීමාව එක් වයස් මට්ටමකට ගෙන ඒම සඳහා කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා බව ළමා හා කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසනවා.

ජාතික පුවත්පතක් වෙත අදහස් දක්වමින් අමාත්‍යවරිය පවසා තිබුණේ, ඒ සඳහා වඩාත් සුදුසු වයස් සීමාව අවුරුදු 18 යැයි තමන් විශ්වාස කරන බවයි.

දැනට පවතින නීතිය අනුව ගැහැනු ළමයකුට කැමැත්තෙන් ලිංගික ඇසුරක් පැවැත්වීමට හැකි වයස් සීමාව අවරුදු 16 වන අතර විවාහ විය හැකි වයස අවුරුදු 18ක් වනවා.

නමුත් මෙම තත්ත්වය හේතුවෙන් බරපතළ සමාජ ප්‍රශ්න රැසක් ඇති වන බවත් එම නිසා මෙම වයස් සීමාවන් දෙක එක වයස් සීමාවකට ගෙන ආ යුතු බවත් අමාත්‍යවරිය එම පුවත්පතට සඳහන් කර තිබුණා.

මේ හේතුවෙන් නීතිවිරෝධී ගබ්සා කිරීම් වැඩි වීම, අවිවාහක ළමා මව්වරු බිහිවීම, ව්‍යාජ වයස් දක්වමින් අඩු වයසින් විවාහ වීමට පෙළඹීම සහ වයස අවුරුදු 16ට වැඩි දැරියක අපයෝජනයකට ලක් වූ අවස්ථාවක දී එය බාල අපරාධයක් සේ නොසළකන නමුත් ඔවුන්ට විවාහ වීමට නීතියෙන් බාධා පැමිණවීම ආදී ප්‍රශ්න රැසක් පැන නගින බව ඇය පෙන්වා දී තිබුණා.

අවුරුදු 18ට අඩු සියලු දෙනා ළමයින් ලෙස සැළකෙන බැවින් අවුරුදු 16 සම්පූර්ණ වූ දැරියකට විවාහ වීමට ඉඩ ලබා දීම සුදුසු නැති බවත්, මෙහි දී වඩාත් සුදුසු වන්නේ මෙම වයස් සීමා දෙක ම අවුරුදු 18 දක්වා වැඩි කිරීම බවත් රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් කඩිනමින් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන අතර මෙම වයස් සීමා සංශෝධනයට අදාළ නීති උපදෙස් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි රාජ්‍ය අමාත්‍යවරිය එම පුවත්පතට පවසා තිබුණේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!