මැතිවරණ ගැන පත් කළ කොමිසමක කාලය දීර්ඝ කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මැතිවරණ නීති සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කරන ලද පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමට ලබා දී ඇති කාලය දීර්ඝ කර තිබෙනවා.

ඉකුත් ඔක්තෝබර් මස 16 වැනි දා හිටපු අග්‍ර විනිශ්චයකාර ප්‍රියසාත් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් එම පරීක්ෂණ කොමිෂන් සභාව පත්කරනු ලැබූ අතර, මැතිවරණ නීති රීති පිළිබඳ පරීක්ෂා කර බලා කාලීන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි මැතිවරණ නීති සංශෝධනය කිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම එම පරීක්ෂණ කොමිෂන් සභාවට පවරනු ලැබුවා.

කාන්තා හා තරුණ නියෝජනය වැඩි කිරීම, මැතිවරණය ප්‍රකාශයට පත්කළ දින සිට මැතිවරණය පවත්වා ප්‍රතිඵල නිකුත් කරන දින දක්වා කාලය අඩු කිරීම, ඡන්දය භාවිත කිරීමේ දී නවීන තාක්ෂණය යොදා ගනිමින් ඡන්දය භාවිතා කිරීම සඳහා අවස්ථාව සැලසීම, විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය භාවිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව අදාළ කමිටුවට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා උපදෙස් ලබා දී තිබුණා.

කෙසේ නමුත් අදාළ නිර්දේශ අප්‍රේල් මස 15 වැනි දිනට පෙර ලබාදිය යුතු බවට මීට පෙර දැනුම් දී තිබූණත්, එම කාලය තවත් මාස 02කින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා විසින් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අදාළ අවසන් වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා ජුනි මස 15 වන දින දක්වා කාලය ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත්තේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!