නීතිය සහ සාමය ස්ථාපිත කිරීම මානව හිමිකම් කඩකිරීමක් නොවේ! – ජනපති

අරගලය මුවාවෙන් ප්‍රචණ්ඩත්වය වැපිරූ පිරිසගෙන් එදා පාර්ලිමේන්තුව, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ජනාධිපති කාර්යාලය ඇතුළු රාජ්‍ය දේපළ බේරා ගනිමින් රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට තමා ගත් පියවර මානව හිමිකම් කඩකිරීමක් ලෙස පෙන්වා දීමට ඇතැමුන් උත්සාහ කළ ද එදා එම පියවර නොගත්තා නම් අද රට තුළ මෙලෙස ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනැගීමට හැකි නොවනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අසීරු සහ අමිහිරි යුගයක් පසු කර, රටක් ලෙස ඉදිරියට යන ගමනේ දී නීතිය හා සාමය කඩවීමට ඉඩ නොතැබිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා සෑම ක්ෂේත්‍රයක් තුළම නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට සියලු පාර්ශ්වයන්ට වගකීමක් පැවරී ඇති බව ද පෙන්වා දෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මේ බව සඳහන් කර සිටියේ විශ්වවිද්‍යාල ආචාර්යවරු සමඟ ඊයේ (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී යි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රටට නව අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දීමට රජය කටයුතු කරමින් සිටින අතර අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඒ සඳහා කමිටුවක් ද පත් කර ඇති බවයි.

විභාග බර අඩු කරමින් පාසල් අධ්‍යාපනයේ සිදු කළ යුතු වෙනස්කම් පිළිබඳ රජයේ අවධානය යොමුව තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා විශ්වවිද්‍යාල පද්ධතියේද පරිවර්තන රැසකට මුල පුරා තිබෙන බවත් එළැඹෙන මැතිවරණයෙන් පසු නව පාර්ලිමේන්තුවක් යටතේ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් ජනපතිවරයා මෙහි දී පැවසුවා.

මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම වෙනුවෙන් සියලුදෙනාගේ සහයෝගය අවශ්‍ය බව පැවසූ ජනාධිපතිවරයා 2035 වන විට දියුණු අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කිරීම තම අරමුණ බව ද සඳහන් කළා.

මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ යහපත් වාතාවරණයක් තිබිය යුතු බව ද පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, විශ්වවිද්‍යාල පාලනය බාහිර පාර්ශ්වයකට පවරනවා ද එම තත්ත්වය වෙනස් කර විශ්විවද්‍යාල පද්ධතිය තුළ නව වාතාවරණයක් ඇති කරනවා ද යන්න විශ්වවිද්‍යාල තුළින් ම තීරණය කළයුතු බව ද පැවසුවා.

පසුගියදා තමා කැළණිය විශ්වවිද්‍යාලයේ විවෘත කිරීමකට සහභාගී වන අවස්ථාවේ ඊට එරෙහිව සුළු පිරිසක් විරෝධතා දැක්වුව ද තමන් වෙත පැවරී තිබූ වගකීම සහ රාජකාරිය ඉටු කිරීම අතපසු නොකළ බවද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළා.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ රැසක් පිළිබඳ මෙහි දී විශ්වවිද්‍යාල ආචාර්යවරු අදහස් දැක්වූ අතර, දැනුම නිර්මාණය කිරීම, එම දැනුම බෙදා හැරීම සහ රටේ ජාතික අවශ්‍යතා ඉටු කිරීමත් විශ්වවිද්‍යාල ආචාර්වරුන් ඇතුළු බුද්ධිමතුන් විසින් සිදු කළ බවට අවධාරණය කෙරුණා.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂමෙන් වෙන් වූ ස්වාධීන අධ්‍යාපන ආයතන බවට විශ්වවිද්‍යාල පද්ධතිය පත් කිරීම, විශ්වවිද්‍යාලවලට අනන්‍ය වූ වර්තමාන ගෝලිය අවශ්‍යතාවයන්ට සරිලන තාක්ෂණයෙන් යුත් නව පාඨමාලාවන් හැදෑරීමට දෙස් විදෙස් සිසුන්ට අවස්ථාව ලබාදීම හා ඒ සඳහා අවශ්‍ය වටපිටාව විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ස්ථාපිත කිරීමේ වැදගත්කම පිළිබඳ මෙහි දි අවධානය යොමු කෙරුණා.

එමෙන්ම විශ්වවිද්‍යාල පද්ධතිය පූර්ණ ප්‍රතිව්‍යුහගතකරණයකට ලක් කර ආර්ථික සංවර්ධනයට පුළුල් දායකත්වයක් ලබාදෙන ආයතන බවට පත්කිරීමේ වැදගත්කම ද මෙහි දී සාකච්ඡාවට ලක් වුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!