සියලු‍ම ප්‍රාථමික සිසුන්ට ‘ප්‍රධාන ආහාර වේලක් ලබා දීම’ අද ඇරඹු ජනපති

රටේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට නම් විෂය දැනුම ලබාදී විභාගවලට ඉදිරිපත් කිරීම මෙන්ම ඔවුන්ගේ පෝෂණය ද සුරක්ෂිත කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා.

එසේම කෘත්‍රීම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණ දැනුම දරුවන්ට ලබාදිය යුතු බව පැවසූ ජනාධිපතිවරයා ඒ අනුව පාසල් අධ්‍යාපනයේ සහ විභාග ක්‍රමයේ වෙනසක් පිළිබඳ රජයේ අවධානය යොමුව ඇති බවද සඳහන් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ නාරාහේන්පිට සුජාතා බාලිකා විද්‍යාලයේ අද (25) පෙරවරුවේ පැවැති “2024 වර්ෂයේ පාසල් ආහාර වැඩසටහනේ“ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනුයි.

දිවයිනේ 1- 5 දක්වා ශ්‍රේණිවල සියලු‍ම පාසල් සිසුන්ට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබා දීමට මේ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

පෝෂණවේදීන්ගේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන දිනපතා සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට පෙර පෙරවරු 7.30ත් 8.30 අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබා දී ඇති බව සඳහන්.

රජයේ පාසල් 9134ක ප්‍රාථමික ශ්‍රේණිවල සියලු‍ සිසුන් හා 100ට අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින සියලු‍ම පාසල් ද ආවරණය වන පරිදි සිසුන් මිලියන 1.6ක් මෙවර පාසල් ආහාර වැඩසටහනේ ප්‍රතිලාභීහු වනවා.

මේ සඳහා රජය රුපියල් මිලියන 16,600ක අයවැය ප්‍රතිපාදන සෘජුවම පළාත් සභා නවය වෙත වෙන් කර ඇති අතර ලෝක ආහාර වැඩසටහන හා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDA) ඇතුළු වෙනත් සංවිධාන විසින් ද අනුග්‍රාහකත්වය සපයනු ලබනවා.

මෙම පෝෂණ වැඩසටහනට අවශ්‍ය ආහාර වර්ග ප්‍රධාන දේශීය සැපයුම්කරුවන් විසින් සපයනු ලබන අතර එය සෘජු හා වක්‍ර නව රැකියා උත්පාදනය ඔස්සේ මෙරට නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට ද දායකවීමකි.

උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළා.

“අද පාසල් ආහාර වැඩසටහන ආරම්භ වනවා. මෙම අවස්ථාව රජයේ එක් අපේකෂාවක් ඉටුවන අවස්ථාවක් ලෙස මම දකිනවා. අධ්‍යාපනය සම්පූර්ණ විමට නම් සිසුන්ට විෂය දැනුම ලබාදී විභාගවලට ඉදිරිපත් කිරීම වගේම ඔවුන්ගේ පෝෂණය ද සුරක්ෂිත කළයුතුයි. ලෝකයේ රටවල් ගණනාවක් මෙම පාසල් ආහාර වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

මන්දපෝෂණය අපේ රටේ විශාල ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. අප අස්වැසුම වැඩසටහන මගින් අඩු ආදායම්ලාභී ජනතාවට ලබාදෙන මුල්‍ය සහනය තුන් ගුණයකින් ඉහළ නංවා තිබෙනවා. පාසල් දරුවන් අතර මන්දපෝෂණය ඉහළයාමට ආදායම් මට්ටම පමණක් හේතු වී නැහැ. ඇතැම් සිසුන් පාසල් වෙත පැමිණීමට නිවසින් පිටත්වන්නේ උදෑසන 6.00ට පමණ. එවිට ඔවුන්ගේ උදෑසන ආහාර වේල මඟ හැරෙනවා. ඒ වගේම දිවා ආහාර වේලත් මඟ හැරි යනවා. ඒ නිසා කුමන තරාතිරමකට අයත් වුවත්, කුමන ජාතියකට, ආගමට අයත් වුවත් සියලු දරුවන් මේ ප්‍රශ්නයට මුහුණ දී සිටිනවා. ඒ නිසා සිසුන්ට පාසල තුළ ආහාර වේලක් ලබා ගැනිමට අවස්ථාව සලසා දීම ඉතා වැදගත් වෙනවා.

නවීන අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කිරීමට අප මේ වන විට කටයුතු කරමින් සිටිනවා. අප නිර්මාණය කළ යුතුතේ 2024ට පමණක් නොව 2030ට සුදුසු අධ්‍යාපන ක්‍රමයක්. එම වැඩකටයුතු දැන් අප කරගෙන යනවා. ගුරුවරු පුහුණු කිරිම, නවීන තාක්ෂණ දැනුම ලබාදීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ වගේම කෘත්‍රීම බුද්ධිය වැඩසටහන සෑම පාසලකම ක්‍රියාත්මක කිරීමට අප සැලසුම් කර තිබෙනවා. එහිදී පළමුව පාසල් වල AI සංගම් ආරම්භ කළ යුතුයි. ඒ වගේම ජාතික AI මධ්‍යස්ථානය නීතියෙන් ස්ථාපිත කිරීමට නියමිතව තිබෙනවා. මෙම පර්යේෂණ සහ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රජය රුපියල් මිලියන දාහක් වෙන් කර තිබෙන බව කිවයුතුයි. ඒ අනුව ඉදිරි වසර කිහිපය තුළ ප්‍රධාන පාසල්වලට පමණක් නොව උසස් පෙළ අධ්‍යාපනය තිබෙන සියලු පාසල්වලට කෘත්‍රීම බුද්ධිය වැඩසටහන හඳුන්වා දීමට අපේක්ෂා කරනවා.

අප නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යා යුතුයි. එම තාක්ෂණ දැනුම දරුවන්ට ලබාදිය යුතුයි. ඒ අනුව පාසල් අධ්‍යාපනය සහ විභාග ක්‍රමය වෙනස් කිරීම පිළිබඳවද අප අවධානය යොමු කර තිබෙනවා. මෙම නවීන තාක්ෂණ දැනුම සමග දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුමද වර්ධනය කළ යුතුව තිබෙනවා. ඒ සඳහා ද අප එවැඩසටහන් සැලසුම් කර තිබෙනවා. “

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!