ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන පළමු එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට…..

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන පළමු එක්දින ක්‍රිකට් තරගය අද (09) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වූ අතර තරගය ලකුණු 42 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව පිටියට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු සහ පැතුම් නිස්සංක පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 182 ක අගනා සබදතාවයක් පවත්වා ගැනීමට සමත් වූ අතර පළමු කඩුල්ල ලෙස අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 88ක් ලබා සිටිය දී දැවී ගියේය.

අද තරඟයේදී අගනා පිතිකරණයක නිරත වූ පැතුම් නිස්සංක ද්විත්ව ශතකයක් ලබා ගනිමින් ලකුණු 210ක් රැස්කිරීමට සමත් විය. ඔහුගේ මෙම අගනා ඉනිම තුළින් වාර්තා පොත් අලුත් කරන්නට, ඔහුට හැකිවිය.

ඒ ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගයකදී ක්‍රීඩකයකු වාර්තා කළ වැඩිම ලකුණු වාර්තාව අලුත් කරමිනි. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ, සනත් ජයසූරියයි. ඒ 2000 වසරේ සාජා පිටියේ දී ඉන්දියාවට එරෙහිව ලකුණු 189 ක් ලබා ගනිමිනි. කෙසේ නමුත් සනත් ජයසූරියගේ එම වාර්තාව අභිබවා යාමට අද පැතුම් නිස්සංකට හැකියාව ලැබුණේ සනත් ජයසූරිය ඉදිරිපිට දී වීමද විශේෂත්වයක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාව තුළ ලෝක වාර්තා රැසකට හිමිකම් කීමට ශ්‍රී ලංකා කණ්ඩායමට මෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයන්ටද හැකියාව ලැබුණ ද එක්දින තරගයකදී ක්‍රීඩකයෙකුගෙන් ද්විත්ව ශතකයක් මේ දක්වා වාර්තා වී තිබුණේ නැත. මෙතෙක් පැවති එම අඩුව පිරවීමට අද දිනයේදී පැතුම් නිස්සංකට හැකියාව ලැබිණි.

ඇෆ්ගනිස්තාන නායකයාගේ ආරාධනය පරිදි ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 381ක් ලබා ගැනීමට සමත් විය.

පන්දුවට පහර දීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 88 ක් ද , සදිර සමරවික්‍රම ලකුණු 45ක් ද ලබා ගත්තේය.

පන්දු යැවීමේදී ඇෆ්ගනස්තානය වෙනුවෙන් අහමඩ් (Ahmad) කඩුලු 2ක්ද, මොහොමඩ් නබී එක් කඩුල්ලක් ද බිඳ හෙළීමට සමත් විය.

ඒ අනුව ලකුණු 381ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසී ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ මුල් කඩුලු 5 ලකුණු 55ක් තුළ බිද හෙලීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.

නමුත් ඉන් අනතුරුව ඇෆ්ගනිස්තානයට ජයග්‍රහණයේ බලාපොරොත්තු තවදුරටත් දල්වන්නට අස්මතුල්ලා ඔමසයි සමගින් එක් වූ මොහොමඩ් නබීට හැකියාව ලැබිණි. මෙහිදී එක්දින ජාත්‍යන්තර තරග දිවියේ, තමාගේ ප්‍රථම ශතකය ලබාගැනීමට අස්මතුල්ලා ඔමසයිට හැකි විය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් වූ එම සබදතාව බිදහෙලීමට ප්‍රමෝද් මදුෂාන්ට හැකියාව ලැබිණි. ඒ මොහොමඩ් නබී ලකුණු 136කට දවා ගනිමිනි.

අස්මතුල්ලා නොදැවී ලකුණු 149 යි. ඇෆ්ගනිස්තානය පන්දුවාර 50ක් අවසානයේ කඩුලු හයක් දැවී ලකුණු 336ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රමෝද් මදුෂාන් කඩුලු 4ක්ද, දුෂ්මන්ත චමීර කඩුලු 2 ක් ද දවා ගත්තේය. තරගයේ වීරයා පැතුම් නිස්සංක.

ඒ අනුව ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලියේ, තරග 1-0 ලෙසින් තරගාවලියේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!