බෙලිඅත්තේ පස් දෙනෙකු මරුවාට තවත් තිදෙනකු අත්අඩංගුවට.

බෙලිඅත්ත අධිවේගී පිවිසුම අසලදී සිදුවූ පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් දෙදෙනකු හුංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මාතර දී තවත් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 28, 42 සහ 58 යන වයස්වල පුද්ගලයන් තිදෙනෙකි . ඔවුන් මීගමුව, අලව්ව හා බූස්ස යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ, ඝාතනයට යොදාගත් ටී 56 ගිනි අවි බැහැර කිරීම සම්බන්ධයෙන් සහ අපරාධ සිදුකිරීමේදී මුදල් ගනුදෙනු කිරීම සම්බන්ධයෙනි.

ඊයේ (30) මෙම ඝාතනය සම්බන්ධයෙන් හක්මණ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් රත්ගම ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකින් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, අපරාධය සිදු කිරීමට යොදා ගත් ගිනි අවි දෙක අපරාධය සිදුකිරීමෙන් පසු මෙම එක් සැකකාරිනියකට අයත් යතුරුපැදියකින් කරාපිටිය ප්‍රදේශයේ සිට බූස්ස ප්‍රදේශයට ප්‍රවාහනය කිරීම සම්බන්ධවයි.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!