බුදු පිළිම කොත් කැරළි රැකගන්නට ජීවිතය උගස් කළ ප්‍රේමචන්ද්‍ර මාමා පැන්ෂන් යයි.

අඩි සිය ගණන් උස් පුරාතණ ගොඩනැගිලි හා වෙහෙර විහාරවල දාගැබ්වල පිළිසකර කටයුතුවලට නැතුවම බැරි ව සිටි පුද්ගලයෙකු අවුරුදු 41ක් සිය සේවාව සපයා විශ්‍රාම ගොස් ඇත්තේ කිසිවෙකුගේ ඇගයීමටවත් ගෞරවටවත් පාත්‍ර නොවී හොර රහසේම යැයි ඔබට විශ්වාස කළ හැකි ද?

අප මේ ඔබට කියන්නේ ඒ කතාවයි.

පොලොන්නරුව, බැඳිවැව පාසල පි‍ටුපස පාරේ කිලෝමීටරයක් පමණ ගිය තැන පදිංචි වී සිටින ඔහු නමින් කේ.ප්‍රේමචන්ද්‍ර (61) ය. ඔහුගේ සීයා සූටින් අප්පුය. පියා අවුනේරිස් ය. සීයාත් පියාත් පොලොන්නරුව පුරා විද්‍යා ස්ථාන සංරක්ෂණ කටයුතු කළ මුල් කාලයේ දීම එම සංරක්ෂණකටයුතුවලට අනියම් කම්කරුවන් ලෙස සේවයට එක්වූවෝය. සීයාගේත් පියාගේත් අඩි පාරේ යමින් කුඩා සංදියේ සිටම ප්‍රේමචන්ද්‍ර ද එම වැඩබිම්වලට ගියේ ය. 1981.05.25 දා හරි අපූරු සිද්ධියක් විය.එවකට අපේ කතානායකයා නාඹර ගැටයෙකි.සයිට් එක භාරව සිටි කුලතිලක නම් මහත්මයෙකුගෙන් මේ කොළු ගැටයාට ඇරයුමක් ලැබිණි. පොලොන්නරුව ලංකා තිලක පිළිම ගෙයි හිටි පිළිමයේ සිරස්පථයේ තරමක් විශාල ගසක් වැවී තිබුණේ ය.මෙම ගස ගැලවීමට කිසිවෙකුට එම ස්ථානයට ළඟා වීමට ක්‍රමයක් නොවුන නිසා එය ගැලවීම දවසින් දවස කල් ගියේ ය. අද මෙන් තාක්ෂණික මෙවලම් ද නොවුණු එකල මේ අභියෝගය සයිට් එකේ කා අතරත් කතාබහට ලක් වූවක් විය.

ප්‍රේමචන්ද්‍ර මාමා

“කුලතිලක මහත්තයා මගෙන් ඇහුවා පුළුවන් ද ඒ ගහ ගලවලා දෙන්න කියලා.මං ගත් කටටම කිව්වා පුළුවන් කියලා. එතකොට ඒ මහත්තයා කිව්ව හෙට ඉදන් ම උඹව වැඩට ගන්නවා එන්න කියලා. පහුවදාම මම ගියා. මට එතකොට අවුරුදු 18ක් 19ක් ඇති. මම ලංකාතිලකේ උසම පිළිමේ උඩට කඹයක් දාලා උඩට කඹේ දිගේ ගිහිල්ලා ඇක්මන් මාමා කියලා කෙනෙක් හිටියා එයාවත් උඩට අරන් අත්ගොබයකටත් වැඩියෙන් විශාල වෙලා තිබුණු ගහ ගැලෙව්වා පරිස්සමට.එදා ඉඳන් ඉහළ දාගැබ්වල පිළිම ගෙවල්වල පුරාවිද්‍යා ස්මාරකවල වල් ගලවන්න සමහර විට සුදු පිරියම් කරන්න. කඩතොලු මකන්න මට තමයි කතා කරන්නේ.”
ප්‍රේමචන්ද්‍ර මමා අතීතය මතක් කළේ ය.1989 වසරේ යුධ හමුදාව හා පොලිස් ආරක්ෂක බල ඇණියක් ම ‍රැගෙන ඓතිහාසික සෝමාවතිය චෛත්‍යයේ වල් වැවී තිබූ ගහකොළ ඉවත් කලේ ද ඔහුය.

1986 ගම් උදාව පැවති අවස්ථාවේ රන් කොත් වෙහෙරේ පේසාවලලු හා ඉහළ ප්‍රදේශයේ වැවී තිබූ ගස් කොළන් ඉවත් කිරීම, ලණු නොමැතිව ද ඇතැම් උස් වූ චෛත්‍යවල හා පිළිම ගෙවල්වල පියසිවලට නැගීමට ඔහුට විශේෂ හැකියාවක් තිබුණි. සේරුවාවිල, අභය ගිරිය, මහියංගන, රුවන්වැලි මහසෑය, පොලොන්නරුව කිරි වෙහෙර, පබලු වෙහෙර, තිවංක පිළිමගෙය, ථූපාරාමය, සත් මහල් ප්‍රාසාදය, ආදී මෙකී නොකී සෑම ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක ස්ථානවල අඩි සිය ගණනක් ඉහළට නැග ඒවා පිරිසිදු කිරීම, පිරියම් කිරීම වැවී ඇති වල් ඉවත් කිරීම ආදී කටයුතුවල ඔහු යෙදී ඇත.

වසර 41ක් ම මධ්‍යම සංස්කෘතික අරමුදලේ කම්කරුවෙකු ලෙස සේවය කළ ප්‍රේමචන්ද්‍ර මාමාට ලැබුණේ කම්කරු ගැහැණුන්ට ලැබෙන වැ‍ටුපක් සහ උස් ස්ථානවලට නැගීම වෙනුවෙන් වන රුපියල් 100 ක දීමනාවක් පමණි.

“එකම එක වතාවක් මං රන්කොත් වෙහෙරේ ඉහළ ඉඳන් රූටලා ඇවිත් පහළට වැටිලා තියෙනවා. හීරීම් දුවාලයක් විතරයි වුනේ. තව සැරයක් ලණුව දිගේ ඉහළට ගියා. ගිහින් බලනකොට ඉහළ කොටස දිරලා ලණුව කැඩිලා. හැබැයි මං උඩට ගියේ ඒක අල්ලාගෙන. මටම පුදුම හිතුණා එකට. අපට පැන්ෂන් එකක් හම්බ වෙන්නේ නෑ. අර්ථ සාධකේ තමයි හම්බ වුනේ. අවුරුදු 41ක් වැඩ කළත් මට කිසිම ඇගයීමක් නෑ. ඒත් අදටත් ඉහළ වල් වැවිලා තිබුණොත් සුදු පිරියම් කරන්න ඕන වුණොත් මට තමයි කතා කරන්නේ.මං ඒක පිනක් කියලා හිතාගෙන සද්භාවයෙන්ම කළා. පුරාවිද්‍යාව හරි මධ්‍යම සංස්කෘතික අරමුදල හරි කවුරු හරි මට එහම සැලකුවාට මං හිතේ කැමැත්තෙන්ම මේ වැඩ කරන්නේ. මගේ බිරිද ප්‍රියන්ති ගුණවර් ධන (51) දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ශානක ප්‍රදීප් (29) ශානිකා ප්‍රේමචන්ද්‍ර (31) එයාලත් බැඳලා. ඒත් හරි හමං රස්සාවක් නෑ. මගේ සීයා මේ වැඩ බිම්වල වැඩ කළා මගේ තාත්තා වැඩ කළා. මං වැඩ කළා. මගේ පුතාට මේ වැඩබිම්වල කම්කරු රස්සාවක් වත් දෙන්න බැරි ඇයි.” ඔහු දුක් මුසුව විමසන්නේය

තම ජීවිත අවදානම නොතකා ඓතිහාසික පූජනීය ස්ථාන සංරක්ෂණයට කැපවී සේවය කළ ප්‍රේමචන්ද්‍ර මාමාගේ ඉල්ලීමට බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු මය. එච්.සී.පී.බෙල් ගේ සිට මේ දක්වා පුරා විද්‍යා අධ්‍යක්ෂජනරාල්වරුන්ගේ කාලය දක්වාම මේ පරම්පරාවේ මිනිසුන් සේවය කර ඇත . ආනවිලුන්දාවේත් පරාක්‍රම සමුද්‍රය වැව් බැම්ම ආශ්‍රිතවත් තිබුණු වාඩිවල නැවතී සේවය කළ සෙල්ලදොරේලා, ආදම්බාවලා, සුලෙයිමාන්ලා, විලසන්ලා ආගිය අතක් නැති වෙන තැනට වැඩ සැලසුන බව ඉතිහාසය දන්නා අය දන්නෝය. ආරියවංශ අබේසේකර නම් නවකතාකරුගේ ආරාමදාස නවකතාවෙන් හමු වෙන අදට අපි ඔදවඩමින් කතාකරන පොලොන්නරුවේ පුරාවිද්‍යා ස්ථාන හා ඓතිහාසික සිද්ධස්ථන සුරක්ෂණයට කැපවී සේවය කළ ඔවුන්ට කවුරු කවදා ඇගයීම් ලබා දෙනු ඇත්ද . දැන්වත් ඒ ගැන ඇස් ඇර බලන්නැයි අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.මන් ද දැන් එවැනි කාර්යයන් කරන්න සේවකයින් ඇත්තේම නැති තරමට උතුම් සේවාවන් පහත හෙළාදමා ඇති බැවිනි.

ඡායාරූප හා සටහන
බණ්ඩාර මුදියන්සේ පොලොන්නරුව

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!