ප්‍රතිවාදීන් 10,000 හිරේ දමා සීක් හසීනා බංග්ලාදේශ මැතිවරණය ජයගනී

බංග්ලාදේශ මහ මැතිවරණයෙන් අගමැතිනී සීක් හසීනා සහ ඇය නායකත්වය දෙන අවාමි ලීගය පහසු ජයක් හිමි කරගත්තේය. අගමැතිනී සීක් හසීනා මෙවර ජය හිමි කරගත්තේ පිටපිට සිව්වැනි වරටයි.

සීක් හසීනාගේ ආණ්ඩුවක් යටතේ සාධාරණ මැතිවරණයක් අපේක්ෂා කළ නොහැකි බව පවසමින් විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින් මෙම මැතිවරණය වර්ජනය කරනු ලැබීය.

ඊයේ(07) පැවති බංග්ලාදේශ මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා පුද්ගලයින් මිලියන 120ක් සුදුසුකම් ලබා සිටි අතර ඉන් හරි අඩක් කාන්තාවන් බව බංග්ලාදේශ මැතිවරණ කොමසාරිස් පැවසීය. එරට පාර්ලිමේන්තුවේ ආසන 350කි. ඉන් ආසන 50ක් කාන්තා නියෝජනයන් සඳහා වෙන්වී ඇත.

මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ එහි ආසන 152කට වැඩි ප්‍රමාණයක් දිනා ගැනීමට අවාමි ලීගය පක්ෂය හා ඔවුන්ට හිතවත් දේශපාලන පක්ෂ සමත්වී තිබිණි. ඒ අනුව 2009 සිට මෙතෙක් බලයේ සිටින සීක් හසීනා තවත් වසර පහකට බංග්ලාදේශයෙහි අග්‍රාමාත්‍ය ධූරයට පත්විය. මේ වන විට ඇය 76 වන වියෙහි පසුවෙයි.

මැතිවරණයට පෙර මාස ගණනාවක සිට බංග්ලාදේශය තුළ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ක්‍රියාත්මක විය. සීක් හසීනාට ධූරයෙන් ඉවත් වන ලෙස බලපෑම් කරමින් එම විරෝධතා පැවතියේය. බාරකාර රජයක් යටතේ මහ මැතිවරණය පවත්වන ලෙස විරෝධතාකරුවෝ ඉල්ල සිටියද අගමැතිනී සීක් හසීනා එයට එකඟ නොවීය. විරෝධතා පැවැත්වූ දේශපාලන පක්ෂ නායකයින් ඇතුලු 10,000කට අධික විපක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කොට මහ මැතිවරණය පැවැතිවීමට ඇය කටයුතු කළාය.

කවීෂා විදානගමගේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!