ගුවන් යානා කාර්මිකයෝ 160 ක් මෙරට හැර යති

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා කාර්මික ශිල්පීන් 160 ක් පමණ පසුගිය වසර දෙක තුළ රැකියාවෙන් ඉවත්ව ගොස් ඇති බවට වාර්තා වේ.

මෙම තත්ත්වය නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දෛනික නඩත්තු කටයුතු පවත්වාගෙන යාම පවා ගැටළු සහගත තත්ත්වයට පත්වෙමින් පවතින බවත්, යානා නිසි ලෙස නඩත්තු නොකිරීම එම යානාවන් ගේ තාක්ෂණික දෝෂ නිතර වාර්තාවීමට ප්‍රධාන හේතුව බවත් සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි . මෙහි අවසාන ප්‍රතිඵල ගුවන් යානා පමාවීම බව එම ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන්යානා කාර්මික ශිල්පීන් 415ක් පමණ සේවයේ නියුතුව සිටිය යුතුමුත් දැනට එහි සිටිනුයේ 250 ක පමණ පිරිසකි.

ඉහළ වැටුප් සහ සේවා කොන්දේසි නිසා කාර්මික ශිල්පීන් විශාල ලෙස මෙරට හැර යන බවත්, ශ්‍රී ලංකාවේ ගුවන් යානා කාර්මික ශිල්පියෙක් රුපියල් ලක්ෂයක පමන වැටුපක් ලබනා විට විදේශ රටවල ඇතැම් ගුවන් සමාගම්වල ගුවන්යානා කාර්මික ශිල්පීන්ට රුපියල් ලක්ෂ 10ක් වැනි ඉහළ වැටුපක ගෙවනා බවත් ගුවන්යානා කාර්මික ශිල්පීහු පවසති.

කවීෂා විදානගමගේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!