එක්සත් ජතින්ගේ මානව හිමිකම් කාර්යාලයෙන් ”යුක්තිය” මෙහෙයුම ගැන නිවේදනයක්

එක්සත් ජතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ ”යුක්තිය” මෙහෙයුම ගැන සිය කණස්සල්ල පලකර සිටී .

”මත්ද්‍රව්‍ය භාවිතය සමාජයට බරපතළ අභියෝගයක් වුවත්, දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රවේශය විසඳුම නොවේ. මත්ද්‍රව්‍ය අනිසි භාවිතය සහ එයට තුඩු දෙන සාධක ප්‍රථමයෙන්ම මහජන සෞඛ්‍ය හා සමාජීය ප්‍රශ්න වේ. මත්ද්‍රව්‍ය විකිණීම හෝ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් සැක කරන පුද්ගලයන්ට මානුෂීය සැලකීමට හිමිකම් ඇති අතර, නියමිත ක්‍රියාවලියට පූර්ණ ගෞරවයෙන් සහ විනිවිද භාවයෙන් යුක්තව, සාධාරණ නඩු විභාගවලට යටත් වේ.” යනුවෙන් මේ පිළිබඳව එම කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

දෙසැම්බර් 17 වැනිදා සිට මත්ද්‍රව්‍ය සම්බන්ධ කාරණා සම්බන්ධයෙන් පුද්ගලයන් 29,000ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇතැමුන් අයහපත් ලෙස සැලකීමට සහ වධහිංසා පමුණුවා ඇති බවට චෝදනා එල්ල වී ඇති බව එම නිවේදනය වැඩි දුරටත් පවසයි.

ආරක්ෂක අංශ විසින් සෝදිසි වරෙන්තු නොමැතිව වැටලීම් සිදු කර ඇති බවත්, මත්ද්‍රව්‍ය අලෙවි කරන්නන් සහ භාවිතා කරන්නන් යැයි සැක කෙරෙන අය සිය ගණනක් හමුදාව විසින් පවත්වාගෙන යන පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යවා ඇති බවත් වාර්තා වන බවත් එහි සඳහන් වෙයි.

දැනට ක්‍රියාත්මක වන “යුක්තිය” මෙහෙයුම සමාලෝචනය කරන ලෙසත්, සමාජයේ පවතින නීති විරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳ ගැටළු විසඳීමේදී මානව හිමිකම් පදනම් කරගත් ප්‍රවේශයන්, විශේෂයෙන් සෞඛ්‍ය සඳහා ඇති අයිතිය ක්‍රියාත්මක කරන ලෙසත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!